අපි කරන දේ හෙට ජනාධිපතිවරයාගේ  රැස්වීමෙදි තීරණය වෙයි… මෛත්‍රී විමල්ට සහ උදයට කියයි!

ආණ්ඩුවේ තව දුරටත් රැඳී සිටිනවා ද නැද්ද යන්න හෙට (08) ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවෙන් අනතුරුව තීන්දු කරන බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කණ්ඩායම වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා මේ බව දන්වා   ඇත්තේ    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවීම ගැනත්, ඉදිරි ‍    දේශපාලන ක්‍රියාමාර්ග ගැනත් සාකච්ඡා කිරීමට පෙරේදා (05) රාත්‍රියේ   විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල   සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී ය.

එහිදී  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසා ඇත්තේ ජනාධිපති  ගෝඨාභය රාජජපක්ෂ  සමග පැවැත්වෙන  සාකච්ඡාවේ දී මීට  පෙර ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී සකස් කළ යෝජනාවලියත්,  ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස මෑතකදී එලි දක්වන ලද යෝජනාවලියත්  ඉදිරිපත් කිරීමට සූදානම් බවය.


සාකච්ඡාව අතරතුර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල  යළි යළිත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටීම කිසිම ඵලදායී ක්‍රියාවක් නොවන බැවින් ඉන් ඉවත්ව නව දේශපාලන සන්ධානයට එක්වන ලෙසය.

එහිදී  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ හදාගත් බලවේගය සමග එකට කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදුවන නමුත් ආණ්ඩුවෙන් ඉවත් වීම සිදුවිය යුත්තේ පක්ෂයත් ආරක්ෂා කරගෙන බවය.

පක්ෂ සංවිධායකයන් බහුතරයක් කලක සිට පෙන්වා දෙන්නේ  ග්‍රාමීය දේශපාලන නායකත්වයේ සිට පාර්ලිමේන්තු නියෝජනය දක්වා සියලුම  ශ්‍රී.ල.නි.ප දේශපාලකයන්ට සංවර්ධන කටයුතු සඳහා  ප්‍රතිපාදන වෙන් නොකිරීම, වැඩ කිරීමට ඇති මං පෙත් අහුරා දැමීම වැනි කටයුතු හේතුවෙන් ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටීම ප්‍රයෝජනයක් නොමැති බව යැයි කී හිටපු ජනපතිවරයා, එහෙත් පක්ෂ අභ්‍යන්තරයේ තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී යෑම තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටින බව පවසා  තිබේ.

තව දුරටත් ආණ්ඩුව සමග රැඳෙන්නට සිදුවී ඇත්තේ පක්ෂය දෙකඩ වීම වළක්වා ගැනීමට අවශ්‍ය නිසා බව ඔහු පැහැදිලි කර දී ඇත.

කෙසේ වෙතත් සියල්ල තීන්දු වන්නේ ජනාධිපතිවරයාගෙන් ලැබන ප්‍රතිචාර මත බව ද ශ්‍රී.ල.නි.ප නායකයා පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර වාසුදේව නානායක්කාර ඇමතිවරයා පැවසුවේ  ආණ්ඩුවෙන් ඉවත් වූ දේශපාලන පක්ෂ නව සන්ධානයක් ගොඩනගන්නේ සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ජාතික ජනබලවේගය වැනි  සංවිධාන සමග එකතු වීමට නොව,  කළකිරීම නිසා ආණ්ඩුවෙන් ගිලිහී යන ඡන්ද දායකයන් එම කඳවුරු දෙකට එක් නොකර තමන් වෙත ගොනු කර ගැනීම සඳහා වූ නවාතැනක් ලෙස බවය.

 

 

Exit mobile version