අන්තවාදීන් ගැන අභියාචනාධිකරණ විනිසුරුවකු ඇමැති සාගලට ටක්කෙටම  ඔත්තුවක් දීලා   

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය සමග සබදතා පැවැත්වු පුද්ගලයකු ගැන තමන් එවකට  විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර සහ නීතිය හා සාමය පිළිබදව ඇමතිවරයාව සිටි  සාගල රත්නායක  යන මහත්වරුන්ව පෞද්ගලිකව හමුවී දැනුවත් කළත් ඔවුන් ඒ  සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය එල්ලවන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බවක් දැනගන්නට නොලැබුණු  බව හිටපු අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය  පිළිබඳ කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (02) අනාවරණය කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේද මේ ගැන  ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද  ඊට අවස්ථාවක් නොලැබුණු  බවද හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා ජනාධිපති කොමිසම හමුවේ  සාක්ෂි දීමට පැමිණ තිබුනේ ඔහු විසින් කොමිසමට කළ ඉල්ලීමකින් පසු ස්ව කැමැත්තෙනි.


වසර 2015 සිට 2019 දක්වා අභියාචනාධිකරණ විනිසුරුවරයකු  ලෙස සේවය කර ඇති ගෆූර් මහතා  තමන්ට උසස්පෙළ පන්තිවලදී ඉගැන්වූ ගුරුවරියක් 2016 වසරේදී දුරකතන ඇමතුමක් ලබාදී වයස අවුරුදු 23ක් වන තම පුත්‍රයා වන ” ආශික් ”  ISIS සංවිධානය සමග සබදතා පවත්වන බව තමන්ට පැවසූ බව කොමිසම හමුවේ අනාවරණය කළේය.

අවස්ථා කිහිපයකදී තම පුතුට එම කටයුතුවලින් ඉවත් වන ලෙස අදාළ ගුරුවරිය විසින් පවසා ඇතත් ආශික් නැමත්තා ” ඔබවත් මරන්න මට ඉහළින් නියෝග තිබෙනවා ” ලෙස මවට මරණ තර්ජන එල්ල කර තිබූ බවද සාක්ෂිකරු පැවැසුවේය.

 සිය මවට මරණ තර්ජන එල්ල කළේ නම් මේ ගැන ඔහු සමඟ කතා කිරීමට යාමෙන් තමන්ටද තර්ජනයක් නිසැකවම හඑල්ල විය හැකි නිසා ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් දැනුවත් කර යම් පියවරක් ගැනීමට තමා තීරණය කළ බවද  විනිසුරුවරයා පැවැසීය.

එබැවින් රටේ බලවත් අය දැන හදුනාගෙන සිටි  තමාගේ ඥාතියෙක් වන ෂැංග්රිලා හෝටලයේ මෙරට කොටස්කරුවන මොහොමඩ් සජාන් මවුසි මහතාට ඒ බව පැවසූ බවද ඔහු සදහන් කළේය..

ඒ අනුව මොහොමඩ් සජාන් මවුසි හරහා එවකට  විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතා  හමුවීමට තමන්ට අවස්ථාවක් ලැබුණු බවත් එම හමුවට සජාන් ඇතුළු තිනෙක් සම්බන්ධ වූ  බව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සදහන් කළේය. ඒ අය අතර නීතීඥ මහත්මයෙක්ද සිටි බව ඔහු සදහන් කළේය.

කොමිසම එහිදී සාක්ෂිකාරුගෙන් විමසා සිටියේ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දේශපාලකයකු හමුවීමට ගියේ මන්ද යන්නයි.

” ඒ කාලේ හරිම භයානකයි. ඒ දවස්වල තිබුණු තත්තවය අනුව පහළ ඉදල උඩට යනවට වඩා ඉහල ඉදලා පහලට යන්න ඕනේ නිසයි එවන් හමුවීකට සම්බන්ධ වුනේ.  නැත්නම් වෙන වෙන ප්‍රශ්න ඇතිවෙන්න තිබුණා ” යැයි ඊට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේය.

මංගල සමරවීර ඇමතිවරයා ඔහුගේ කතාව ට හොඳින් ඇහුම්කන් දුන් බවත් පසුව  නීතිය හා සාමය අමාත්‍ය  සාගල රත්නායක මහතාට ඒ ගැන දුරකතනයෙන් පවසා  ඔහුව හමුවීමට අවස්ථාවක් ලබාදුන් බවද ඔහු කොමිසම හමුවේ පැවැසීය.

ඒ අනුව ඉන්  දින දෙකකට පමණ පසු තමන් එවකට සිටි  නීතිය හා සාමය අමාතය සාගල රත්නායක මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවූ බව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සදහන් කළේය.එහිදී සාගල රත්නායක අමාත්‍යවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාද  අන්තවාදී ක්‍රියාවන්  පැතිරයාම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සහ දැඩි අවධානයෙන්  සිටින බව ය.

එම මුණ ගැසීමේදී සාගල රත්නායක අමාත්‍යවරයාට  තමන් සතුව තිබුණු  තොරතුරු ලබාදුන් බවත් ඒ තොරතුරු ඔහු විසින් සටහන් කරගැනීමෙන් පසු ඒ ගැන පියවරක් ගන්නා බව සදහන් කළ බවත් සාක්ෂිකාර අභියාචනාධිකරණ විනිසුරු ගෆූර් මහතා පැවැසීය.

 රජයක් විදියට හෝ දේශපාලකයෙක් විදියට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූ ඔබ ලබාදුන් සංවේදී තොරතුර පිළිබඳව  ගත් පියවරක්  ගැන දැනගන්නට ලැබුනේදැයි එහිදී කොමිසම සාක්ෂිකාර විනිසුරුවරයාගෙන් විමසා සිටියේය.

” මං හිතුවා දවසකින් දෙකකින් හරි බුද්ධි අංශ නිලධාරීන්  ඇවිත් මගෙන් කටඋත්තරයක්වත් ගනීවී කියල. නමුත් පාස්කු ප්‍රහාරය  සිදුවනතුරු  එහෙම දෙයක් වුණේ  නෑ. මට හරි කණගාටුවක් ඇති වුණා. ඒ වෙලාවෙ යම් ප්‍රතිචාරයක් දක්වලා ක්‍රියාත්මක වුණා නම් මේ ජාලය වීනාශ කරල දමන්න තිබුණා. එහෙනම් ලංකාවේ මේ මිලේච්ඡ ක්‍රියාව සිද්ධ වෙන්නෙ නෑ” යැයි එහිදී  හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සාක්ෂි ලබාදෙමින් සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු  ප්‍රහාරයෙන් පසුව ආශික් නමැත්තා අත්අඩංගුවට ගත් බව පුවත්පතකින් දුටු තමා ඒ ගැන දැඩිව කණගාටුවූ බවත් විනිසුරු වරයා පැවැසීය. එදින තමා සමග සාගල රත්නායක ඇමතිවරයාව මුණ ගැසීට ගිය කණ්ඩායමේ සිටි නීතීඥ ෆයිරූස්   ප්‍රහාරයෙන් පසුව හිටපු අමාත්‍ය  සාගල රත්නායක හමුවූ අවස්ථාවකදී ” ඔබලාට තොරතුරු දිලා තියෙද්දිත් තමයි මේක උනේ” ලෙස ප්‍රකාශ කර තිබූ බවද කොමිසම හමුවේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු අබ්දුල් ගෆුර් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version