අනවශ්‍ය ලෙස රටට බලපෑම් කරන ජාත්‍යාන්තර සංවිධානවලින් ලංකාව ඉවත් කරගන්න සූදානම්

රණවිරු සැමරුම් උළෙලේ දී ජනපති කියයි

වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රටට සාමය උදාකර දීමේ ඓතිහාසික  මොහොත  සිහිපත් කරන ජාතික විරුදින සමරු උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සවස පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභිස දී පැවැත්විනි.

යුද, ගුවන්, නාවික හමුදාවන්හි සහ පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරන 11 වැනි ජාතික රණවිරු උළෙල රණවිරු අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබීය.

කොරෝනා වසංගත තත්වය නිසා වෙනත් වසරවල මෙන් නොව, ඉතා චාම්ව එහෙත් අභිමානවත්ව රණවිරු සැමරුම් උත්සවය පවත්වනු ලැබුවේ ඉතා සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගනිමිනි.


ත්‍රස්තවාදය නිමා කිරිමේ මෙහෙයුමට එවකට දේශපාලන නායකත්වය දුන් පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අගමැතිවරයා ලෙසත්, එවක ආරක්ෂක ලේකම්වරයාව සිට යුද මෙහෙයුම මනා ලෙස සම්බන්ධීකරණය කරනු ලැබු ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා ලෙසත් එවකට පැවති රජයේ හිටපු අමාත්‍යවරයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ලෙසත් මෙම උත්සවයට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, නාවුක හමුදාපති, හා පොලිස්පතිවරයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරන උසස් නිලධාරීහු මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

කොරෝනාව සංගත තත්වය හේතුවෙන් වෙනත් වසරවල මෙන් රණවිරු පවුල්වලට අයත් සාමාජිකයන් ගෙන්වා ගැනීමක් මෙවර සිදු නොවුණි. මිය ගිය රණවිරුවන්ගේ මව්පියන්, බිරින්දෑවරුන්, හා ඥාතීන් කිහිප දෙනෙක් පමණක් සංකේතාත්මකව මෙම උත්සවයට එක් කර ගැනුණි.

එකොළොස්වෙනි ජාතික රණවිරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ මෙරටට යම් අසාධාරණයක්වන ආකාරයට ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනය හෝ සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රි ලංකාව ඉවත්කර ගැනීමට තමන් කිසි විටෙකත් පසුබට නොවන බවය.

ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතා තවදුරටත් අදහස් පළකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

යුද්ධය යනු රෝසමල් යහනාවක් නොවේ. නීතිය පිළිනොගන්නා ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක් සමග සටන් කිරීමේ දී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවුණා. රටේ සෑම ප්‍රදේශයකම සිවිල් පුද්ගලයන් මිය ගියා. මරාගෙන මැරෙන බෝම්බ වලින්, බෝම්බ පිපිරීම් වලින් විශාල පිරිසක් මිය ගියා. විශාල දේපල ප්‍රමාණයක් නැති උනා.

මානුෂික මෙහෙයුමේ අවසාන අරමුණ වූයේ රටට දීර්ඝ කාලීන සාමයක් උදා කර දෙන්නයි. රණවිරුවන් කළ ඒ සුවිශේෂී කැපවීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ හා සාමකාමීව ජීවත් වීමට අවස්ථාව සැලසිලා තියනවා.

යුද්ධයේ වේදනාව මම හොඳින්ම දන්නවා. ඒ නිසා විශාල පරිත්‍යයක් කොට සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කර දුන් අපේ රණවිරුවන්ට හිම තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයකට මම කිසිම ඉඩක් ලබා දෙන්නෙ නෑ.. මගේ රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන් ගේ ගරුත්වය හැම විටම ආක්ෂා කරන බවට මම සහතික වෙනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම ජාතික වගකීමක් වෙනවා.

ලොව බලවත්යැයි කියා හඳුන්වන රටවවල නායකයන් පවා තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අප වැනි කුඩා රටක මෙතරම් කැපවීමක් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයට පත් කරන්න මා කිසි විටෙක ඉඩ දෙන්නෙ නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අපේ රටට යම් කිසි අසාධාරණයක් වෙන ආකාරයට යම් ජාත්‍යාන්තර සංවිධානයක් හෝ ආයතනයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනය හෝ සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට කිසිසේත්ම පසුබට වන්නේ නැතැයි ජනාධිපතිවරයා පැවසීය.

Exit mobile version