අධිකරණ නියෝග 04ක් තඹයකට මායිම් නෑ… පෙළපාළි කරුවෝ  පොතුවිල් සිට මඩකලපුවට…

යුද සමයේ අතුරුදන් වූවන් ගැන අසමින් නිදහස් දිනයෙත් විරෝධතා පා ගමන දියත් කිරීමට සැලසුම්...

සුසන්ත අමරබන්දු –

අතුරුදහන්ද වුවන්ට සිදු වූයේ කුමක්ද, දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ලෙස  ඉල්ලා සිටිමින්  ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී වරු  ඇතුළු පිරිසක් අධිකරණ නියෝගවලට පිටුපා  පොතුවිල් සිට යාපනය දක්වා විරෝධතා පෙළපාලියක් අද (03)  උදෑසන 9.45ට පමණ පොතුවිල් නගරයේ සෙලාන් බැංකුව ආසන්නයෙන් ආරම්භ කළෝය.

විරෝධතාව සඳහා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ඇතුළු 50 කට ආසන්න පිරිසක් සිටි අතර ඔවුන් පොතුවිල,  අක්කරපත්තුව , සමන්තූර සහ කල්මුන  යන අධිකරණවලින් නිකුත් කරන ලද අධිකරණ නියෝගවලට පිටුපා යමින් දිගින් දිගටම මෙම විරෝධතා පෙළපාලිය නොනවත්වාම  සිදුකළහ.

පොලිසිය විසින් මෙම අධිකරණ නියෝග ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් සිංහල භාෂාවෙන් මෙන්ම දමිළ භාෂාවෙන් ද නිවේදනය කරමින් විරෝධතා කරුවන් දැනුවත් කළද එම අවස්ථාවලදී රථ වාහන වලට නගිමින් විරෝධතාකරුවන් නැවතත් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ වල දී වාහනවලින් බැස පා ගමනින් ගමන් ගනිමින් අඛණ්ඩව විරෝධතාවේ යෙදෙන්නට වූහ.


පොතුවිල්වල සහය නෑ…

පොතුවිල් නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතා ව්‍යාපාරයට ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සූමන්තිරන්, රාසමානික්‍යන් චානක්‍ය, ගෝවිලානාදන් කරුණාහරන්, ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීන්න තම්බි යෝගේෂ්වරන් යන මන්ත්‍රීවරු ඇතුළු දේශපාලකයින් පිරිසක් සහභාගි වී සිටියහ.

ආරම්භක අවස්ථාවට පමණක් සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙම විරෝධතා පෙළපාලි සහභාගි වූ අතර ඉන්පසු   පෙළපාළියේ ගමන් කරන අයුරක් පෙනෙන්නට නොතිබිණි.

එම  අවස්ථාවේදී පොතුවිල ප්‍රාදේශිය ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්  මෙම විරෝධතාව සඳහා සහභාගී නොවූ අතර පොතුවිල් නගරයේ දෙමළ ජනතාව ගෙන්   කිහිප දෙනෙකු පමණක් සහයෝගය ලබා දී තිබිණි

එම පිරිස මහ වැසි මැද පොතුවිල  නගරයේ  සිට පා ගමනින්  ගමන් කරන්නට වූහ.  මොවුන් විරෝධතා පුවරු රැගෙන  ගමන් කරද්දී  පොලිසිය විසින්  අධිකරණය නියෝග  ලබා දුන්නත් ඔවුන් එම අධිකරණ නියෝගය නොතකා රථවාහන පහළොවකට ආසන්න  ප්‍රමාණයක නැගී තිරික්කෝවිල්  ප්‍රදේශයේ   ගමන් ගත්තේය.

තිරික්කෝවිල්  පොලිසිය මගින් මාර්ග බාධක තුනක් යොදවා මෙම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගය ලබා දී ගමන නැවැත්වීමට උත්සාහ කළ ද  විරෝධතාකරුවෝ  නොනවත්වාම ඉදිරියට ගමන් කළහ.   තුන්වන මාර්ග බාධකයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යයන් චානක්‍යන් හට එම අධිකරණයෙන් නියෝගය  පවසා සිටියද, ඔහු ද  විරෝධතාකරුවන් මෙහෙයවමින් අක්කරප ත්තුව  පසුකරමින් සමන්තුරේ දෙසට විරෝධතා ව්‍යාපාරය මෙහෙයවූයේය.

සමන්තුරේ දී…

සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ දී ද ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමින් සමන්තුරේ   අධිකරණයෙන්  නිකුත් කළ වාරණ නියෝගය ලබාදුන්නද විරෝධතා කරුවෝ එය නොතැකූහ.  පෙළපාලි කරුවන් කල්මුණ ප්‍රදේශයට ගමන් කළහ.  කල්මුණ පොලිස් බල ප්‍රදේශයේ දී ද කල්මුණ අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගය   ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් පොලිසිය මගින්  විරෝධතා කරුවන් හට දැනුම් දෙනු ලැබුවේය.

ඔවුන් එම  අධිකරණ  නියෝගයට පිටුපා දිගින් දිගටම ගමන් ගන්නා ලදී. විටක රථ වාහනවල නැගි දෙමළ ජනතාව වැඩිපුර වෙසෙන පෙදෙස්වල  පා ගමනින් ගමන් කරමින් නැවතත් රථ වාහනවල නැගී මෙම පිරිස ගමන් කළහ.  අතරතුර අට්ටාල චේන ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර්   ඇතුළු මුස්ලිම් ආධාරකරුවන් පිරිසක් ද මෙම විරෝධතාවට සහයෝගය දැක්වීම සඳහා එක් වූහ.

පාලමුනේ ප්‍රදේශයේ රිෂාඩ් බදියුදීන්ගේ  ආධාරකරුවන් කීපදෙනෙක් මෙම විරෝධතාවට සහාය දැක්වීම සඳහා එක්වුහ.

මෙම විරෝධතාවය පෙළපාලිය යාපනය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙන අතර පළමු දිනයේ දී මඩකලපුවෙන්  අවසන්  විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණ නියෝග වලට පිටුපා විරෝධතා පෙළපාලියක් දිගින් දිගටම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී  අධිකරණවලට කරුණු වාර්තාකර කටයුතු කරන බව ඉහළ පොලිස් නිලධාරියෙක් කීවේය.

Exit mobile version