අද සමරන ලෝක කම්කරු දිනයේ කතාව…

චිකාගෝ නුවර ඓතිහාසික කම්කරු අරගලය සිත්තරෙකුගේ ඇසින්...

136 වැනි ලෝක කම්කරු දිනය අදය. මැයි දිනය ලෙස සමරනු ලබන්නේ සමස්ථ ලෝක කම්කරු ප්‍රජාවගේ  ලෙයින් දහදියෙන් ලියැවුන ජවසම්පන්න ඉතිහාසයක පෞරුෂය ය. එහි ඉතිහාසය ලියැවෙන්නේ මෙසේය.

ඒ වනවිට ඇමරිකාවේ සේවකයින්ට නිශ්ඡිත වැඩමුරයක් තිබුණේ නැත. හාම්පුත්තු කම්කරුවන් වහල් සේවයේ යෙදවූහ. මේ පීඩාව දරාගත නොහැකි තැන  වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරු  පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් ව විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතා ව්‍යාපාරය ගැන සැලවූ සැනින් ප්‍රමෝදයට පත්වූ වැඩකරන ජනතාව හතර අතින් චිකාගෝ නුවරට එක්වන්න වූහ.    මැයි 3 වැනිදා වන විට 65000ක පමණ කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවරට එක්ව සිටිහය.  කම්කරුවන්ගේ නැගිටීම ධනය සහ බලය හිමිකරගෙන සිටි හාමුපුතුන් මෙතෙක් ගොඩනගාගෙන තිබූ ආධිපත්‍යයට එල්ලවන මරු පහරක් විය.  රජය කුළු ගන්වමින් ඔවුහු මෙම කම්කරු සටන මර්ධනය කිරීමට රාජ්‍ය බලය යෙදවීමට කටයුතු කළහ. කම්කරුවන් සහ පොලිස් නිලධාරීන් අතර ගැටුම ආරම්භ විය.

මේ අතර  මැයි 4 වන දින, නාඳුනන පුද්ගලයෙකු පොලිස් කණ්ඩායම් වෙත නිරායුද අරගලයක නිරත අරගලකරුවන් අතර සිට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. එම බෝම්බ ප්‍රහාරයත් සමග පොලිසිය අරගලකරුවන්ට වෙඩි තබන්නට විය.


මෙම ගැටුම හේතුවෙන්  පොලිස් නිලධාරීන් හත් දෙනෙකුගේ සහ අවම වශයෙන් සිවිල් වැසියන් හතර දෙනෙකුගේ මරණයට හේතු විය. සිවිල් වැසියන් එකසිය පහළොවක් මෙන්ම පොලිස් නිලධාරීන් හැටක් තුවාල ලැබූහ.  රජයේ දැඩි ප්‍රහාර හේතුවෙන් අහිමි වී යන ජීවිත සම්බන්ධව සලකා බලා කම්කරු නායකයෝ සටන තාවකාලිකව අත්හලහ.

අනතුරුව  දඩයම ඇරඹිනි. මෙම සටන සංවිධානය කළ ඇල්බට් පාසන්ස්, ජෝර්ජ් එන්ගල්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔගස්ටස් ස්පයිස්, ඔස්කා නිබේ, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩොල්ෆ් ෆිෂර් යන කම්කරු නායකයන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුවේය.

එම නඩු විභාගය යුත්කිය ගබ්සාකළ නඩු විභාගයක් ලෙස සැලකිනි.  නඩු විභාගය අවසානයේ දී ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් ලැබෙද්දී ෆිල්ඩන්ට සහ ෂ්වොබ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණා.

ඉතිරි පස්දෙනා එනම්  ඇල්බට් පාසන්ස්, ජෝර්ජ් එන්ගල්, ලුවී ලින්ග්, ඔගස්ටස් ස්පයිස් ඇඩොල්ෆ් ෆිෂර් එල්ලා මැරීමට අධිකරණය තීන්දු කළේය.

1887 නොවැම්බර් 11 වැනි දින කම්කරු නායකයන් පස්දෙනා එල්ලා මැරීමට නියමිතව තිබිණි. ඉන් එක් අයෙකු ඊට පෙර සියදිවි හානිකර ගත්තේය. ඉතිරි සිවු දෙනා වර්ෂ 1887 නොවැම්බර් 11 දින එල්ලා මරා දමනු ලැබීය.

නමුත් 1893 ජූනි 26 වැනිදා චිකාහෝ පිහිටි ඉලිනොඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයවරයා ලෙස කටයුතු කළ ජෝන් පීටර් ඇල්ට්ගෙල්ඩ් මෙම  කම්කරු නායකයන් 8 දෙනා නිවැරදි කරුවන් බව තීරණය කළේය. ඒ තීන්දුව එන විට කම්කරු නායකයින් පස් දෙනෙක් එල්ලා මරා දමා අවසන්ය.  කෙසේ වෙතත් තීන්දුව ප්‍රකාරව එතෙක් දීරඝකාලීන සිර දඬුවම්වලට යටත්ව සිටි කම්කරු නායකයින් තිදෙනා නිදොස් වී නිදහස් වූහ.

1889 වසරේ මැයි 1 වැනිදා ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්ගේ නායකත්වයෙන් යුතු  ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රංශයේ පැරිස් නුවර දී රැස් වුන අවස්ථාවේ   ඊට වසර 3කට පෙර ඇමරිකාවේ චිකාගෝ නුවර දී පැය 8ක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් රුධිරයෙන් කළ පරිත්‍යාගය සදාකල් සැමරිය යුතු බවට තීන්දු කෙරිනි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම වසරකම මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට එම සමුළුවේ දී තීරණය විය. එදා සිට ලෝකයේ   රටවල් සෑම වසරකම මැයි 1 වැනිදාට ලෝක කම්කරු දිනය සමරති.

ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ඒ කම්කරු නායකයෙක් වූ ඒ. ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙනි.  ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 1956 එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක   රජයේ කම්කරු ඇමති ධූරය දැරූ ටී.බී.ඉලංගරත්න   ශ්‍රී ලංකාවේ මැයි පළමුවැනි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

Exit mobile version