“ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැයක් විදුලිය දෙනු ලැබේ“ වැනි නිවේදනයක් ආවත් කලබල වෙන්න එපා!

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන්ජයලාල් ඇත්ත තත්වය ගැන කියයි...

කීර්ති ප්‍රනාන්දු –

“ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැයක් විදුලිය දෙනු ලැබේ“ වැනි නිවේදනයක් රජය නිකුත් කළත් ඒ ගැන පුදුම නොවන ලෙස ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන්ජයලාල් පවසයි.  පවතින තත්වය තුළ ලබන සඳුදා සිට අනිවාර්යයෙන්  දිනකට පැය 15කට වඩා වැඩි විදුලි කප්පාදුවක් සඳහා යන්නට සිදුවනු ඇති බව ලංකාසරට අදහස් දක්වමින් ලේකම්වරයා පෙන්වා දෙයි.

පවතින තොරතුරු මත පදනම්ව  පැය 10කට වැඩි විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන්  තමන් විසින් පුරෝකථනය කළේ  පසුගිය සතියේ බ්‍රහස්පතින්දා  බවත් එය සපුරා ප්‍රතික්ෂේප කළ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදුනොවන බවත් යැයි කී ලේකම්වරයා මේ ලාභ බොරු නොකර අර්බුදයට වගකීමකින් යුතුව සමාජය පෙළගැස්වීම නිලධාරීන් විසින් සිදුකළ යුතු බව පෙන්වා දුන්නේය.

“ මේ මිනිස්සු කරන විහිළු ගැන හිතාගන්න බෑ. මේ දැන් කියන බොරුව ඊලඟ පැයේ  හෙළි වුනාම කිසිම ලජ්ජාවක් නැතිව කිසිම දෙයක් වුනේ නෑ වගේ මාධ්‍යයට ඇවිත් ඇත්ත කියනවා. මේ අය රටේ විදුලි අර්බුදය විසඳනවා කිව්වේ  මාර්තු 05න් පස්සේ. අද විදුලි කප්පාදුව පැය 13ක්…“

“පද්ධතිවල අවිධිමත්භාවය නිසා  සමහර පැතිවලට විදුලි කප්පාදුව සිදුවන්නෙ නෑ. ඒ අනුව  මේ යන විදිහට ලබන සඳුදා දිනයෙන් පසු   පැය 15ක කප්පාදුවකට යන්නම වෙනවා.  පද්ධතියේ අවිධිමත් භාවය නිසා දැනටමත් අති විශාල ප්‍රදේශයකට විදුලිය කපන්නෙ නෑ.“


ඒ තත්වය විසින්  පැය 15කට වඩා වැඩි විදුලි විසන්ධි කිරීමකට යෑම ඉක්මන් කරනවා. “අත්‍යාවශ්‍ය කටයුතු සදහා පැයක කාලයක් විදුලිය ලබා දෙනු ලැබේ“   වැනි නිවේදනයක් රජයෙන් නිකුත් වුනත් කලබල වෙන්න එපා‘ යැයි ලේකම්වරයා කීවේය.

කෙසේ වෙතත් ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම පැවසුවේ රටේ ඩීසල් ප්‍රශ්නය අප්‍රේල් 05 වැනිදායින් පසු ඉන්දීය ණය ආධාර යටතේ විසඳෙන බවය.  තෙල් සංස්ථා සභාපති සභාපති නීතිඥ සුමිත් විජේසිංහ කීවේ අප්‍රේල්  මස තුළ ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ සියලුම ඉන්ධන ප්‍රශ්න විසඳී සැලසුම් කළ අයුරින් සියල්ල සිදුවනු ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙවියන්ගේ පිහිටෙන් වර්ෂාව නොලැබී ඉන්ධනත් හිඟ වුනොත් සිංහල අලුත් අවුරුද්ද අඳුරේ ගතකරන්නට සිදුවනු ඇති  ලංවිම ඉංජිනේරු සංගමය ඊ‍යේ ප්‍රකාශ කළේය.

Exit mobile version