අතරමැදියො නැතිව අස්වනු අලෙවි කරන වැඩපිළිවෙළක්

කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පසුබිම සැකසීමෙන් ගොවියාට ඉහළ මිලක් මෙන්ම පාරිභෝගිකයාට සහන මිලක් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ජීවන වියදම් කමිටුව සමග ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය.


වත්මන් ජීවන තත්ත්වය සහ කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන පරිප්පු, ටින් මාළු, බී ළුණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ජනාධිපතිවරයා විසින් පෙරේදා ඉවත් කරනු ලැබීය.

පුරන්ව ඇති බවට ශ්‍රේණිගත කර තිබෙන කුඹුරුවල කඩිනමින් පොල් වගා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. හෙක්ටයාර් 50,000ක් අලුතින් පොල් වගා කිරීම රජය ආරම්භ කර ඇත.

එළවළු, පළතුරු, බිත්තර පාරිභෝගික අවශ්‍යතාව අනුව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසෙමින් පවතින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා පැවසීය.

පවුලක දෛනික පරිභෝජන අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ගණනය කර තිබේ. අඩු ආදායම්ලාභීන් නගා සිටුවීමේ පියවරක් ලෙස නිවාස ආශ්‍රිතව එළවළු සහ පළතුරු වගා කිරීම සහ ගෘහස්ත කුකුලු පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල සහ මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලැබී ඇතැයි නිලධාරීහූ පෙන්වා දුන්හ. ඉදිරියේ දී වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවළු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ද සඳහන් කෙරිණ.

Exit mobile version