අගමැති ඇතුළු මැති ඇමතීන්ට අභයාරාමයෙන් හදිසි කැඳවීමක්

රජය පත් කිරීම සඳහා කැපවී කටයුතු කළ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා විසින් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු නාරාහේන්පිට අභයාරාමයට කැඳවනු ලැබ ඇත.

එහිදී උන්වහන්සේලා යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කර ඇති අතර, එම අඩුපාඩු වහා සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා හමුවේ අවධාරණය කර ඇත.

ලංකාසරට වාර්තාවන ආකාරයට පසුගියදා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බෙංගමුවේ නාලක හිමි, ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සඳහන් කර යවන ලද ලිපිය ද පෙන්වා එහි සඳහන් කරුණු පදනම් කරගෙන ඒවා වෙනස් කළ යුතු බවට මෙසේ අවධාරණය කර ඇත.


එහිදී උන්වහන්සේලා සඳහන් කර ඇත්තේ ආණ්ඩුව පත්කිරීම වෙනුවෙන් මූලිකව ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා වශයෙන් මෙම ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධනය නිසා තමන්ද දෝෂදර්ශනයට ලක්ව ඇති බව ය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි යන හිමිවරු ද සහභාගි වූහ.

එම කරුණු වන්නේ,
(අ) හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම.

(ආ) අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛණයේ සඳහන් දේශය තුල වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප්‍රතිඥාව ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම.

(ඇ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම.

(ඈ) විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම.

(ඉ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පත් කිරිමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම.

(ඊ) මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහි ව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම.

(උ) ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමෙි වගන්ති ඉවත් කිරීම යන ඒවාය.

මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සවස පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව අවධානයට යොමු කිරීමටත් උන්වහන්සේලා විසින් දක්වන ලද කරුණු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටත් භික්ෂූන් වහන්සේලා හමුවේ පොරොන්දු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම හමුවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග යන මැති ඇමැතිවරුන් සහභාගි වී ඇත.

Exit mobile version