සබ්රි මේ තරම් ගොබ්බ ද?

කැනඩාව සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉලක්ක කරගෙන විදේශ ඇමති අලි සබ්රි විසින් විදේශ මාධ්‍ය වෙත කරන ප්‍රකාශ දේශපාලන විචාරකයින්ගේ පුදුමයට මෙන්ම තිගැස්මටද හේතු වී ති‍බේ

මේ මොහොත වනවිට ඉන්දියාව සහ කැනඩාව අතර බරපතල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වි තිබෙද්දී  ශ්‍රී ලංකාවට ඍජු ලෙස මේ මොහොතේ  ගැටලුවක් ඇති කර  නොමැති  කැනඩා රජයටත්  සහ අග්‍රාමාත්‍යවරයාටත්  එල්ල කර ඇති   දරුණු ප්‍රහාරය මේ වනවිට කලාපීය අවධානයට ලක් වී ඇත. කලාපයේ අනෙක් රටවල් මේ තරම් වාචාල සහ ගොබ්බ ලෙස මේ ප්‍රශ්නයට මෙතෙක් මැදිහත් වී නැති පසුබිමක සබ්රිගේ හැසිරීම වඩාත් කැපී පෙනෙන්නේය.

හිඟමනට වැටුණු ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට මුහුණ දීමට තමන්ගේම සටන් තිබෙන බැවින්  රජයට හෝ ජාතියට අදාළ නොවන ගැටුම්වලට මැදිහත් නොවී සිටීම  අනිවාර්යයෙන්ම කළ  යුතු මෙන්ම කළ හැකි දෙයක් බව ජාත්‍යාන්තර සම්බන්ධතා ගැන් ප්‍රමාණික විද්වත් පාර්ශව පෙන්වා දී තිබේ.

දේශපාලන අර්බුදයේ උච්චතම අවස්ථාවෙහි දේශීය ආර්ථිකය කඩා වැටී රටේ මුදල් නැති වූ විට රටේ දේශපාලන නායකයින් උදව් ඉල්ලුවේ  ජාත්‍යන්තර ප්‍රජාවෙනි.  මේ අවස්ථාවේ ලෝකයේ දුගී යැයි මිනුම් ලැබූ රටවල් පවා අපට උදව් කළහ.  බොහෝ ජාතීන් ලංකාව වෙනුවෙන් මිත්‍රශීලීව ඉදිරිපත් විය.


මේ මොහොතේ  රට ගෙවා දමන්නේ  වෙන කවරාදටත් වඩා ලෝකය අරභයා මැදහත් පිළිවෙතක් අනුගමනය කළ යුතු මොහොතකය. ඉකුත් සතියේ එක්සත් ජනපදයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවැත්වූ සාකච්ඡාවල දී  සියලු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වන බවත් කිසිදු පාර්ශවයක් වෙනුවෙන් පෙනී නොසිටින බවත්    ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝකයට සහතික වුනේය.

ජනාධිපති නොබැඳි පිළිවෙතක් ගැන සහතික වී සතියක් ගොස් නැත.  අනපේක්ෂිතව විදේශ අමාත්‍ය අලි සබ්රි   ඉන්දීය  මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවට කිසි සේත් අදාල නැති ඉන්දියාවේ ප්‍රශ්නයක්  හා කැනඩාව සමග ගැටුමකට යන්නේය.

ඉන්දියානු නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන සබ්රි කියන්නේ කැනඩාව ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත තෝතැන්නක් බවය.  ඉන්දු කැනඩා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ලෙස  ප්‍රකාශ නිකුත් කරමින් සබ්රි පවසන්නේ කැනේඩියානු  අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කිසිදු සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා   එල්ල කිරීමේ පුරුද්දක් සහිත බැවින් ඉන්දියාව සම්බන්ධව කැනේඩියානු අගමැතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධව තමන් පුදුම නොවන බවය.

කැනඩාව ඉන්දියාව සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ දේට සමාන ක්‍රියාවක් බව කී විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වී ඇති බවට කළ ප්‍රකාශය භයානක හා සම්පූර්ණ අසත්‍යයක් බව කීවේය.

සබ්රිට තමන්ගේ මතය තමන්ට ඕනෑම තැනක ප්‍රකාශ කළ හැකිය. එහෙත් මේ සංවාදයට ඔහු එක් වන්නේ අලි සබ්රි ලෙස නොවේ. අලි සබ්රි ඕනෑ කෙහෙල්මලක් කීවාට ඉන්දියාවට හෝ ලෝකයට පයිසකය වැඩක් නැත. සබ්රි මේ මැදිහත්වීම කරන්නේ ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙසය.  ඉන්දියා – කැනඩා ගැටුමට ලංකාවත් ගාවමින් විදේශ කටයුතු ඇමතිවරයා කරන මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ නිල අදහස ලෙස සමාජගත වීම බරපතල අර්බුදයක් බව ලියා තැබි යුතුය.

ශ්‍රී ලංකාවට කිසිදු අදාළත්වයක් නොමැති කැනඩා අගමැති ඉන්දියාවට    එරෙහිව කරන ලද චෝදනා සම්බන්ධයෙන්  මේ කරන දෙඩවීම කුමක් දැයි බෙහෝ දෙනාට වැටහෙන්නේ නැත.

රට සම්බන්ධයෙන්  වූ ගැටලුවේ දී   සබ්රි  ටෲඩො ගැන කතා කිරීම පිළිගත හැකිය.

නමුත් මේ මොහොතේ අනවශ්‍ය දෙයක් ලෙස පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාව සහ කැනඩාව අතර ගැටුමකට රට මැදිහත් කරන ආකාරය ය.

දැන් විමසිය යුත්තේ සබ්රි ප්‍රකාශයට පත් කළේ  නොබැඳී පිළිවෙත ගැන ලෝකය වටේ බයිලා ගසමින් ඇවිදින ජනාධිපතිගේ  විදේශ ප්‍රතිපත්තිය ද?. රටේ නිල ප්‍රකාශය මෙය ද?. නැතිනම් මේ සබ්රිගේ පුද්ගලික කතාවක් ද?.

නහස් මත්ත තෙක් ආර්ථික ගොහොරුවක ගිලී හිඟා කන ජාතියකට තමන්ගේ ප්‍රශ්න ඕනෑ තරම් තිබේ. කොහේවත් යන කුණ්ඩවාල පටලවාගෙන වැළලෙන්නට යන්නේ අහවල් දේකටදැයි මේ රටේ මිනිස්සු ප්‍රශ්න කර සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇත්තටම සබ්රි එච්චරම ගොබ්බ ද?

Exit mobile version