රට ඉදිරියේ  හතරකොන පටලාගත් ශ්‍රිලනිප විගඩම…

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රට පටලවාගෙන ඇත. මේ තරම් විහිළුවක්  එම පක්ෂය විසින් ඉතිහාසයේ සපයා තිබුණේ නැත.  පක්ෂයේ සභාපතිට වාරණ නියෝගයකි.   මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රෙල් 4 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගෙනය.

ධූරය අත්හිටුවීමට පෙර  සභාපති සිරිසේන  විසින් දේශපාල මණ්ඩලය කැඳවා පක්ෂයේ ජාතික සංවිධායකගේත් භාණ්ඩාගාරිකගේත් ජ්‍යෙෂ්ඨ උප සභාපතිගේත් තනතුරු අත්හිටුවා ඇත.  ඔවුන් අධිකරණයට ගොස් වාරණ නියෝග රැගෙන පක්ෂය තුළය.

දැන් සභාපති එළියේය. වැඩ බලන මහලේකම් කියන දේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අහන්නේ නැත.  ඔහු වැඩ බලන මහලේකම්ගේ විරෝධය නොතකා  දේශපාලන මණ්ඩල රැස්වීම් කැඳවමිනි.

ඒ අවුල් මැද අද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වන්නේය. එම පක්ෂයේ අනුශාසක  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එහි මුලසුන දැරීමට නියමිතව ඇත.


අද පෙරවරු 10ට කොළඹ පදනම් ආයතනයේ දී මෙම රැස්වීම කැඳවන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වාය.  මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා හැර අනෙක් සියලුම දේශපාලන මණ්ඩල සභිකයින් මේ අවස්ථාවට නොවරදවාම සහභාගීවන ලෙස නිමල් සිරිපාල විසින් දැනුම් දී තිබිණි.

පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලය. ඔහු නිවේදනයක් නිකුත් කර කීවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව නිමල් සිරිපාල ද සිල්වාට මෙවැනි දේශපාලන මණ්ඩලයක් කැඳවීමේ කිසිම බලයක් නොමැති බවය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය අවධාරණය කරනු ලබන්නේත් මෙම දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවීම නීති විරෝධී බවය.

නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන්නේ පසුගිය සතියේ වැඩබලන මහ ලේකම්වරයාට දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස කළ ලිඛිත දැනුම් දීමට වැඩබලන මහලේකම්වරයා දන්වා තිබුනේ නිමල් සිරිපාල ද සිල්වාගේ ජ්‍යෙෂ්ඨ  උප සභාපති ධූරය අත්හිටුවා ඇති බවත් එම තරනතුරු නාමයෙන් පෙනී සිටීමට    ඔහුට අයිතිවාසිකමක් හෝ බලයක් නොමැති බවත්ය.

එමෙන්ම පක්ෂයේ තනතුරු ගණනාවක් සම්බන්ධව පවතින නඩු ගණන් හේතුවෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවීමේ බලය ඇත්තේ සභාපතිවරයාට පමණක් බව වැඩ බලන මහලේකම්වරයා සිරිපාලට දන්වා තිබිණි.

දැන් වැඩබලන මහලේකම්වරයා පවසන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි තත්ත්වය පිළිබඳව දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින්ගේ එකඟතාවය අනුව කටයුතු කරන බවය. අද කැඳවා ඇති සිරිපාලගේ දේශපාලන මණ්ඩලය කිසිදු නෛතික බලයක් නැති රැස්වීමක් බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විතය.  ඉන් සාමාජිකයන් 13 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාර්තු මස 31 වැනිදා දේශපාලන මණ්ඩයක් රැස් කර තිබිණි. ඒ බව පෙන්වා දෙන වැඩබලන මහලේකම්වරයා නිමල් සිරිපාල ද සිල්වා විසින් පක්ෂයට අදාළව සිදුකරනු ලබන මෙම නීති විරෝධී  රැස්වීම පක්ෂය පමණක් නොව, අධිකරණය ද හෑල්ලුවට ලක් වන බව ප්‍රකාශ කළේය.

පදනම් ආයතනයේ දී චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් ශ්‍රිලනිප දේශපාල මණ්ඩලය රැස්වන අවස්ථාවේ දී පක්ෂ මූලස්ථානය ඇත්තේ ඉබි යතුරු දමාය. කිසිවෙකුට ඊට ඇතුළුවිය නොහැකිය.

මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දොරවල් ඉබි යතුරු දමා වසා ඇති බව දැනගෙන ඇත්තේ සෙනසුරාදා (6) උදෑසන 9.30ට පමණ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් එහි පැමිණ රැස්වීමක් පැවැත්වීම සඳහා පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීය. ඒ කණ්ඩායම පවසන්නේ රැස්වීම පැවැත්වීම සඳහා කාර්යාලයට ඇතුළු වීමට පොලිසිය විසින් අවසර නොදුන් බවත් ඉබියතුරු දමා දොරවල් වසා තිබුණු බවත්ය.

කෙසේ වෙතත් පක්ෂයේ ලිපි ගොනු ප්‍රමාණයක් අතුරුදහන් වීම සම්බන්ධව වැඩබලන මහලේකම්වරයා දැමූ පොලිස් පැමිණිල්ල ප්‍රකාරව  කොළඹ 10, ටී.බී. ජායා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය පොලිසිය විසින් වසා ඇති බව මාධ්‍යවල ප්‍රකාශ වුනේය.

එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ  නිහාල් තල්දූව පැවසුවේ දොරගුළු වසා දමා ඇත්තේ පොලිසිය නොවන බවය.

පක්ෂයේම යම් පිරිසක් අගුළු ලා එහි යතුරු රැගෙන ගොස් ඇතිබව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කාර්යාලයේ තිබූ වැදගත් ලිපිගොනු කීපයක් අතුරුදන්ව ඇති බවට ඒ පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල   මරදාන පොලිසියට කර තිබූ පැමිණිල්ල සම්බන්ධව පරික්ෂණ කිරීම සඳහා කාර්යාලයට ඇතුළුවීමට පොලිසිය ද දොර අගුළු අරිනකම් බලාගෙන සිටින බව පැවසුවේය.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ පොලිසිය කර ඇත්තේ ගැටුමක් ඇති නොවීමට එම කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලට ආරක්ෂාව සැපයීම පමණක්  බවය. පොලිසිය කියන්නේ කාර්යාලයේ ඉබි යතුරු බලහත්කාරයෙන් විවෘත කරගැනීමට පොලිසියට අනවශ්‍ය බවය.

උදෑසන රැස්වීමක් පැවැත්වීම සඳහා පක්ෂ මූලස්ථානයට පැමිණි දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු මූලස්ථානය වසා ඇති බව දැනගත් පසු  පක්ෂ මූලස්ථානය ඉදිරිපිට   විරෝධතාවක් ආරම්භ කළහ. මේ පිරිස විරෝධතාවෙහි නිරත වන අතරතුර එම ස්ථානයට පක්ෂයේ වැඩ බලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, දහම් සිරිසේන   ඇතුළු පිරිසක්ද පැමිණියහ. ඒ පිරිසට පාක්ෂිකයන් ඇතුළු පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි විය.

මෙහිදී දුෂ්මන්ත මිත්‍රපාල පැවසුවේ  ශ්‍රීලනිප මූලස්ථානයට පක්ෂ‍යේ ප්‍රධානීන් කිසිවකු නැති අවස්ථාවක නන්නාඳුනන පිරිසක් ඇතුළු වී ඇති   පක්ෂ මූලස්ථානයට විශාල අලාභ හානියක් සිදු කර ලිපි ලේඛන ප්‍රමාණයක් රැ‍ගෙන ගොස් ඇති බවය.    ඒ සම්බන්ධයෙන් තමන් මරදාන පොලිසියට පැමිණිලි කළ බවද පැමිණිලි කිරීමෙන් පසුද පක්ෂයෙන් පරිබාහිර පිරිස් පැමිණ පක්ෂ මූලස්ථානය තුළ මාධ්‍ය සාකච්ඡා පවත්වන ආකාරය මාධ්‍ය ඔස්‍සේ තමන් දුටු බවද මිත්‍රපාල   පැවසීය.

ආණ්ඩුවේ ඇමති ධුර ගත් පිරිස සිය බලය උපයෝගි කරගනිමින් පොලිසියද යොදාගනිමින් සිදු කරන මේ ක්‍රියාවලිය සිදු කර ඇතැයි මිත්‍රපාල කීවේය.    මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට යෑමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීට පෙර මෛත්‍රිපාල සිරිසේන    විසින්ම ඉවත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද මේ අවස්ථාවට සහභාගි විය. එහිදී දයාසිරි ජයසේකරටත් උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, මේ විරෝධතාවට  ය නිල රථයෙන් මෛත්‍රිපාල සිරි‍සේන පැමිණ තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස පක්ෂයේ දේපළ කිසිවක් විනාශ කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නැති බවත්, දේපළ හානි සිදු කර ඇති බවට සිදු කරන චෝදනා සියල්ල අසත්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  පවසා තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේපළ මෙන්ම ලිපිගොනු සම්බන්ධයෙන් වගකීම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස තමන් වෙත පැවරෙන බවද එවන් තත්ත්වයක් යටතේ පක්ෂයේ දේපළ විනාශ කිරීමට තරම් මො‍ළේ අමාරුවක් නැති බවත්, ලසන්ත අලගියවන්න කීවේය.

පක්ෂයේ දේපළ නඩත්තු කිරීම වෙනුවෙන්වන මුදල් වෙන් කිරීම් ඇතුළු සියලු කටයුතු සිදු වන්නේ තම අනුමැතිය යටතේ බවද සිහිපත් කළ ලසන්ත අලගියවන්න   මහගෙදර දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවද අවධාරණය කළේය.

විවිධ අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් ඇතැම් පිරිස් ‌ චෝදනා එල්ල කළත් ඒ සියලු චෝදනා අසත්‍ය බවද ලසන්ත අලගියවන්න  කියා තිබිණි.

හිටපු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඊයේ (07) සවස කඩුවෙල පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඇමතුවේය. මෙම සමුළුව හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ   විසින් සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල  ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

තනතුරු අත්හිටවූ හිටපු සභාපති සිරිසේන මෙහිදී අදහස් දැක්වූයේය.

‘අපිට කොච්චර බාධක ආවත් වධ බන්ධන ආවත් අපි කිසි දවසක පස්සට යන්නෙ නෑ, ඉස්සරහට යනව මිසක්. අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ දැනගන්න ඕන ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් අපේ ගමනට බාධා කරන බව. ඔවුන්ට ඕනෑ වුණා සන්ධානෙත් එක්කම ආණ්ඩුවට එකතු වෙන්න. මේක තමයි පසුගිය මාස තුන හතරෙම අපේ සාකච්ඡා අසාර්ථක වෙන්න හේතුව වුණේ. ගමේ වචනෙන් කියනවා නම් අපිව කඩේ යැව්වා. ඒ නිසා අපි පසුගිය දිනවල ආණ්ඩුවේ තනතුරු දරන තුන්දෙනෙකු පක්ෂය තුළ දරන තනතුරුවලින් ඉවත් කළා. ඒක ඉතාම නීත්‍යනුකූලව කළ වැඩක්.’

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ සිටම විවිධ අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක්. ඒත් ඒක වට්ටන්න බැරි වුණා. බණ්ඩාරනායක මහතා මේ පක්ෂය ගොඩනැඟුවා. සිරිමාවෝ මැතිණිය එය ශක්තිමත් කළා. එතුමන්ලගෙ දරුවොත් මේ පක්ෂය අතහැර ගිහින් ති‍යෙනවා. මමත් මේ පක්ෂය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරල ති‍යෙනවා. ඒ නිසා මම කියන්න කැමැතියි අපිව වට්ටන්න ඔය අතලොස්සක් කුමන්ත්‍රණය කළාට හරියන්නෙ නෑ. අපි ඉදිරියටම යනවා. මම සෑම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන්ම ඉල්ලා සිටිනවා අපත් සමඟ එක්වන ලෙස.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද සවස් වනවිට ශ්‍රිලනිප යේ තත්ත්වය තවත් වෙනස් වන්නට නියමිතය. හරිම උනන්දුව දනවන සුලුය. දේශපාලන පක්ෂ විනාශයට පත්වන ආකාරය ගැන සිද්ධි අධ්‍යයනයක් කරන්නෙකුට මේ කෙටි කාලය ඉතාම වැදගත් පර්යේෂණ පසුතලයක් නිර්මාණය කර ඇති බව සටහන් කළ යුතුය.

Exit mobile version