මේ විනාශය ගෝඨාභය ජනපතිගේ පුද්ගලික දුර්වලතාවය නිසා සිදුවන්නක්ම නොවේ… අනුර කුමාර දිසානයක

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්තමාන ආණ්ඩුව පාලන බලය ලබා ගත් වසර එකහමාර තුළ රුපියල් ට්‍රිලියනයක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවත්, මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද පිටකෝට්ටේ සෝලියස් උත්සව ශාලාවේ පැවති මධ්‍ය හමුවක් අමතමිනි.
ණය ගෙවීම සඳහා ණය ගැනීම, ජාතික දේපළ විකිණීම දිගටම සිදුකරමින් යන ආණ්ඩුව කෙරවලපිටිය බලාගාරය හා වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනගා රෙටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැගිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වීම ඇතුළු අතිශය භයානක ප්‍රවේශයන්වලට අවතීර්ණ වෙමින් ඇති බවත් මේ තත්වයන් දැඩි විනාශකාරී ලෙස නුදුරු අනාගතයේ දීම රටට බලපානු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් මෙසේත් පැවසීය.

“ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂගේ පුද්ගලික දුබලතාවයන් රැසක් තිබුණත් මේ සමාජ ආර්ථික ව්‍යසනය තනිකරම ඔහුගේ පුද්ගලික දුබලතාවයක් නොවේ. දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්. ජනාධිපතිවරයාගේ කාලය තුළ එය තීව්‍ර කෙරෙනවා පමණයි. මේ විදිහට තවදුරටත් අපේ රටට සහ ජනතාවට අනාගතයක් නැහැ. අපේ රටේ ගැඹුරුතම ආර්ථික අර්බුදය ණය කේන්ද්‍රකර ගත කරමින් නිර්මාණය වී තිබෙනවා.
භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ණය වාරික සහ පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නැහැ. වර්ෂයක් තුළ උපයා ගන්නා ඩොලර් ණය පොලී වාරික ගෙවීමටත් ප්‍රමාණවත් නොවෙන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව අධික ලෙස මුදල් මුද්‍රණය කරනවා.

වර්තමාන ආණ්ඩුව පාලනය ගත් පසු රුපියල් ට්‍රිලියනයක මුදල් අච්චු ගහල තිබෙනවා. මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා.

අනික් පැත්තෙන් තවදුරටත් චීනය, ඉන්දියාව, බංගලිදේශයෙන් පවා ණය ඉල්ලමින් සිටිනවා. මේ අර්බුදය ඇති කරන ලද ණය පාරේම තවදුරටත් ගමන් කරමින් සිටිනවා. ඊට අමරතව ජාතික දේපළ විකිණීම ආණ්ඩුවේ තුන්වෙනි විසඳුම බවට පත්කරගෙන තිබෙනවා. කෙරවලපිටිය බලාගාරය, වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනගලා අපේ රටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැගිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වෙනවා.

ඔවුන් අර්බුදය විසඳීමේ මාවත බවට පත්කරගෙන තිබෙන්නේ ණය ගැනීම, විකිණීම සහ මුදල් අච්චු ගැසීමයි. මේ මාර්ගය ඉතා කෙටි කාලයකින් නැවත අර්බුදය තීව්‍ර කරනවා. ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලුවලට නිවැරදි උපාය මාර්ග ඔවුන්ට නොමැති බව, පැරණි යල්පීනූ අසාර්ථක ගමන් මාර්ගයේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් සිටිනවා.

එසේම සමාජ අර්බුද විශාල ගණනාවක් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍යය බිඳවැටීම, අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම තුළින් සමාජ අර්බුද රැසක් පවතිනවා. අපේ රටේ ආර්ථික සහ සමාජ අර්බුද අති විශාල ප්‍රමාණයක් මේ යුගයේ ඇතිකර තිබෙනවා.

අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ ආකාරයට තවදුරටත් යා යුතුද කියලයි. අප විඳින මේ විනාශයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අත්පත් කර දිය යුතුද? ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙය වෙනස් කිරීම සඳහා එකතුවන්න කියලා. ජාතික ජන බලවේගයේ අපි මේ රට ගොඩනැගීම සඳහා භාරගන්න සූදානම්. ඒ සඳහා දැක්මක්, වැඩපිළිවෙළක්, කැපකිරීමක්, අප සතුව තිබෙනවා. අගාධයට යමින් තිබෙන රට ගොඩනැගීමට අපට හැකියාව තිබෙන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. එය ගොඩනැගිය හැකියි.

මේ රටේ පුරවැසියන් දශක ගණනාවක් විවිධ පාලනයන් ගොඩනගා තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වීම, ජනතාවට දුන් පොරොන්දු මුළුමනින්ම සුනුවිසුනු කොට දැමීමක්. ජනතාවට දේශපාලනය එපා වෙනතරමට අපේක්ෂා භංගත්වයට පත්කර තිබෙනවා.

මේ රට ගොඩනැගිය යුතුයි. යහපත් රාජ්‍යයක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්. අපි තවදුරටත් බලපෑම් කණ්ඩායමක සිටීම පමණක් නොව බලය හුවමාරුකර ගැනීමේ කණ්ඩායමක් දක්වා පරිවර්තනය වීමට අපි සූදානම්. බලය අරමුණු කර ගත් දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි. ඒ සඳහා මේ රටේ ජනතාවට ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.

Exit mobile version