මුජිබර් රහ්මාන්…. කවුද මේ කොළඹ හාදයා?

තරීෂා අබේවික්‍රම –

මුජිබර් රහ්මාන් ගෙන්දගම් පොළොවේ උපන් මනුස්සයෙකි.  පුංචි බොරැල්ලේ හැදි වැඩී කොළඹ ජීවිතයේ යථාව අත්විඳමින් ගොඩනැගුණු ඔහු අද කොළඹ පුරපති පුටුව අභියස තරග බිමේය. මේ මුජිබර් රහ්මාන් සමග ලංකාසර කළ කෙටි පිළිසඳරකි.

ඔබගේ නම…..? මොහොමඩ් මුජිබර් රහ්මාන්

ඔබ කවුද…? මම ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මම 2015 දී පාර්ලිමේන්තුවට තේරී පත් වීමට පෙර බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස වසර හයක් සේවය කළා. කොළඹ නගරාධිපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා 2023 ජනවාරි 19 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

උපන් ගම කොහේ ද..? මම උපන්නේ කොළඹ මරදානේ සොයිසා කාන්තා රෝහලේ යි. පුංචි බොරුල්ලේ හන්දියේ ම තමයි අපේ ගෙදර තියෙන්නේ. අවුරුදු 17ක් ම වෙනකන් මම හැදුනේ ඒ ගෙදරයි.


පාසල කුමක්ද..? ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ මහාබෝධි විද්‍යාලයෙන් සහ පසුව මරදාන සහිරා විද්‍යාලයට ගියා.

උසස් පෙළට කළ  විෂයයන් මොනවාද..? වාණිජ්‍ය, ගිණුම්, ආර්ථික විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රය

පාසලේදී කළ විෂය බාහිර කටයුතු මොනවාද…? ක්‍රිකට් ගැහුවා. සහිරා විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් බී කණ්ඩායමේ මම නායකත්වය දැරුවා. ඊට අමතර ව පාසලේ සිංහල සාහිත්‍ය සංගම්වල හිටියා.

 

දෙමව්පියන් කවුද, මොනවාද කරන්නේ..? මගේ අම්මා ගෘහණියක්. මගේ පියා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ රජයේ ගුරුවරයෙක්.

එක කුස උපන් සහෝදර සහෝදරියන් ඉන්නවා ද….? ඔව්. එක මල්ලි කෙනෙක් වරලත් ගණකාධිකාරිවරයෙක්. දෙවැනි මල්ලි මෝටර් මැකෑනික් ඉංජිනේරුවරයෙක්. නංගි වැඩිදුර පාසල් අධ්‍යාපනය ලැබුවේ නැහැ.

පුංචි කාලේ ජීවිතය ගත වුණේ කෙසේද…? මම පුංචි කාලේ හරි ම දඟ ළමයෙක්. කොල්ලන්ට ගහනවා. පන්ති කාමරයේ රණ්ඩු ඇති කර ගන්නවා.

කොළඹ ජන ජීවිතය ඔබ අත්දකින්නේ කෙසේද…? මම හිටපු පුංචි බොරැල්ලේ පරිසරයේ අපේ ගෙදරයි, අල්ලපු ගෙදරයි විතරයි ඒ කාලේ මුස්ලිම් ගෙවල්වලට තිබුණේ. අනිත් ගෙවල් හැම එකක් ම සිංහල අය ජීවත් වුණා. ඒ අවට සිටි කොළඹ ආනන්දෙට, නාලන්දෙට ගිය ළමයි මගේ යාළුවෝ යි. ඒ යාළුවෝ එක්ක ගිහින් කැම්බල් පාර්ක් එකේ සෙල්ලම් කළා. ක්‍රිකට් ගැහුවා. සංඝමිත්තා පාසල තියෙන වත්තේ ඒ කාලේ සෙල්ලම් කළා. ඒ වත්තේ වෙසක් කාලෙට සිංහල කට්ටිය එකතු වෙලා දන්සැල් දෙනවා. අපි ඒවාට උදව් කරනවා. සහජීවනය කියන දේ හොඳට ම තිබුණා. 

ඔබගේ උසස් අධ්‍යාපනය කෙසේද..? මම උසස් පෙළ විභාගයෙන් පස්සේ නීති උපාධිය කිරීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට එකතු වුණා. ඒ එක්ක ම දේශපාලන කටයුතුවලට එකතු වුණු නිසා උපාධිය අවසන් කර ගන්න බැරි වුණා. 2022 දෙසැම්බර් මාසේ එංගලන්තයේ බැකිංහැම් විශ්වවිද්‍යාලයෙන් මම නීති උපාධිය සම්පූර්ණ කළා.

ආරම්භක රැකියාව කුමක්ද…? උසස් පෙළ අවසන් කරලා මම හේමාස් ආයතනයේ ගිණුම්කරණය සම්බන්ධ රැකියාවකට සම්බන්ධ වුණා. ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් මම කටයුතු කළා. ඒත් එක්කම මම ගිණුම්කරණයට සම්බන්ධ විභාගයක් වන අයි.ඒ.බී. පාඨමාලාව සම්පූර්ණ කළා.

මුලින් ම දේශපාලනයට යොමු වන්නේ කෙසේ ද…? අ.පො.ස. උසස් පෙළට පාඩම් කරන කාලේ එකට පාඩම් කළ යාළුවෝ අතර කොළඹ රාජකීය, මහානාම විද්‍යාලවලට ගිය කිහිපදෙනෙක් වාමාංශික දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියා. එයාලා මාව එක එක සම්මන්ත්‍රණවලට, දේශපාලන වැඩවලට එක්කගෙන ගියා. එහෙම ගිහින් 1992, 1993 වෙනකොට මම වාමාංශික දේශපාලනයට එකතු වුණා.

පක්ෂ දේශපාලනයට ඔබගේ ඥාතිත්වයන් තිබේද…? මගේ අම්මා සහ ඒ පවුලේ අය එකසත් ජාතික පක්ෂට ඡන්දය දුන්නු අය යි. මගේ තාත්තා සම සමාජ පක්ෂය වගේ වාමාංශික පක්ෂවල මැයි දින රැලිවලට එහෙම ගියා. පසු කාලීන ව තාත්තා ඒ.සී.එල්. සමීඩ් මහතා විදේශ ඇමති වෙලා හිටි කාලේ එතුමා සමග දේශපාලනයේ  සමීප ව වැඩ කළා. ලක්ෂ්මන් කදිරගාමර් මහතා විදේශ ඇමති වුණු වෙලාවේදී එතුමා සමගත් වැඩ කළා. පස්සේ කාලෙක මම එක්සත් ජාතික පක්ෂයට එකතු වුණු වෙලාවේ තාත්තාත් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නා.

දේශපාලන ජයග්‍රහණ මොනවාද..? මම මන්ත්‍රීවරයෙක් හැටියට 2009 සිට බස්නාහිර පළාත් සභාවේ දෙවරක් ජයග්‍රහණය කළා. පාර්ලිමේන්තුවේත් දෙවරක් ජයග්‍රහණය කරලා තියෙනවා. 

දිනූ දේශපාලනයෙන් ඔබ ඉටු කළ සේවාවන් අතර වඩාත් සුවිශේෂ වූ ජනතා සේවාවන් මොනවාද…? දේශපාලන ජීවිතය තුළ රටේ සිදු වුණු තීරණාත්මක අවස්ථා සහ දේශපාලනමය අවස්ථාවලදී අසාධාරණයට එරෙහි ව හඬනගා තිබෙනවා. මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජීවත්වීමේ අයිතිය, ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් දිගට ම පෙනී ඉඳලා තියෙනවා. ජනතාවට විරුද්ධ ව රජය ගෙනා අනපනත්වලදී මම ඒවාට විරුද්ධ වී තියෙනවා.

මුස්ලිම් තරුණයින් දැඩි මතධාරීන් ද…? සෑම සමාජයක ම දැඩි මතධාරීන්, අන්තවාදීන් ඉන්න පුළුවන්. මුස්ලිම් ජනතාවගෙන් සියයට අනූ නවයයි දශම නවයයි නවයකගේ ම අදහස වන්නේ මේ රටේ අනෙකුත් ජාතින් එක්ක සහයෝගයෙන් එක ජීවත් වීමයි. කාලයක් තිස්සේ මුස්ලිම් ජනතාව ජීවත් වුණෙත්, කටයුතු කළෙත් ඒ විදිහට යි. නමුත්  මුස්ලිම් අය අතරත් අන්තවාදීන්, දැඩි මතධාරීන් ඉතා සුළු පිරිසක් ඉන්න පුළුවන්. 

ඔබ ආගම් මතධාරියෙක් ද..? මුස්ලිම් ජන කොටසකට යම් අසාධාරණයක් සිද්ධ වන අවස්ථාවකදී මම කතා කළා ම මේ රටේ සමහර උදවිය මම අන්තවාදියෙක් කියා කියූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. නමුත් මගේ දේශපාලනය තුළ කිසියම් ජන කොටසක් අසාධාරණයට, පීඩාවට ලක් කිරීමට හෝ කිසියම් ජන කොටසක් යටපත් කර ගැනීමට හෝ මම කටයුතු කරලා නැහැ. මේ රටේ ජීවත් වන සැමට එක විදිහට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න ඕනෑ කියන මතයේ මම හැමදාම හිටියා, ඉදිරියේදිත් ඒ මතයේ ම ඉන්නවා. මේ රටේ කවුරුහරි හිතනවා නම් කිසියම් ජන කොටසක් යටපත් කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා ඒ දේ නම් කවදාවත් ඉටු වෙන එකක් නැහැ. අන්තවාදි තීන්දු අරගෙන යන්න ගමනක් නැහැ. එහෙම තීන්දු අරගෙන මේ රටේ ගමනක් යන්නත් බෑ.

කොළඹ මහා නගර සභා තරග බිමට එන්නේ ඇයි…? අපේ රටේ මේ තියෙන තත්ත්වයත් එක්ක පළාත් පාලන මැතිවරණයේ බලය ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගයට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ ජයග්‍රහණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයටත් බලපානවා. පළාත් පාලනය තුළ ජනතාවගේ අවශ්‍යතාවයන් බොහෝමයක් තවමත් ඉටු වෙලා නැහැ. කොළඹ මහා නගර සභාවට කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකියි. ඒ වගකීම ඉටු කිරීම සඳහා මම පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා  තරග බිමට ආවා. මම කොළඹ නගරයේ ඉපදී, හැදී වැඩුණු කෙනෙක් නිසා නගරයේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මම හොඳින් හඳුනනවා. ඒ ප්‍රශ්න පිළිබඳ හොඳ සංවේදී බවකුත් මට තියෙනවා. ඒ ප්‍රශ්නවලට නගර සභාවෙන් බොහෝ විසඳුම් ලබා දිය හැකි බවත් මම දන්නවා. ඒ නිසා මම කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිධූරය වෙනුවෙන් තරග බිමට පිවිසුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිංහල ඡන්ද ඔබට ලැබෙයි ද..? ඔව් අනිවාර්යයෙන් ම සිංහල ඡන්ද මට ලැබෙනවා. සිංහල පමණක් නෙවෙයි කොළඹ නගරයේ සියලු ම වර්ගවල ජන කොට්ඨාශයන්ගේ සහාය මට අනිවාර්යයෙන් ම ලැබෙනවා.

Exit mobile version