බලයට පත්වන ආණ්ඩුවල අපරාධ නීතිගත කරන මාරක කොමිසමට එරෙහි වන්න…

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා කියයි...

රාජපක්ෂ පවුලේ අයට සහ ඔවුන්ගේ හිතවතුන්ට පනවා ඇති මිනී මරැම්, අපරාධ, වංචා හා දූෂණ නඩු 79ක් ඉවත් කරගෙන එම නඩු පැවරූ අයට දඬුවම් දීම සඳහා කොමිෂන් සභා පත් කිරීම අතිශයින් බිහිසුණු පූර්වාදර්ශයක් බවත්,  බලයට පත් වන ආණ්ඩුවක හොරකම, මිනී මැරීම, දූෂණය ඇතුළු සාහසික අපරාධ නීතිගත කරන මේ කොමිෂන් සභා මාරකයට දේශපාලන භේද පසෙක තබා රටේ පුරවැසියන් ලෙස විරෝධය පල කරන්නට එක්විය යුතු බවත්  ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා අද (01) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ලෝකයේ කිසිම ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත නොකරන මේ   අනීතික අශිෂ්ට  ක්‍රියාවලිය  සදාචාරයට හෝ නීතියේ මොනම මූළ ධර්මකයට හෝ එකඟ නැති බව පෙන්වා දෙන ලේකම්වරයා කියන්නේ මේ   වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් දේශපාලන බලය ගත් නායකයන් මිනී මරන්නට, වංචා දූෂණයන්හි යෙදෙන්නට බිය නොවන අනාගතයක් මෙන්ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට සූදානම් නොවන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් ඇතිවන තත්වයක් ඇතිවන බවය.

ලේකම්වරයා එහිදී වැඩිදුරටත් මෙසේත් පැවසීය.


“ ජනාධිපතිවරයා දේශපාලන පළිගැනීම් ගැන සොයා බලන්නට පත් කළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ වාර්තා  නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා   කැබිනට් අනුමැතිය සහිතව    පසුගිය 28 දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්  03 යුතු කොමිසක් පත් කරගත්තා.

මේ කොමිසම පරීක්ෂණ කොමිසමක් නෙමෙයි. මේ කොමිසම පත්කරන්නේම දඬුවම් ලබා දීම වෙනුවෙන්. ඉතිහාසයේ මීට කලින් අධිකරණ බලය සහිතව මෙවැනි කොමිෂන් සභා දෙකක් පත් වෙනවා. එකක් 1972 දි. ඒ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව. දෙවැන්න සමගි පෙරමුණේ ආණ්ඩුවෙ වැරදි හොයන්න 1978 දි ජේ.ආර්. ජයවර්ධන පත් කළ කොමිෂන් සභාව. මේ කොමිෂන් සභා දෙකම ගර්හාවට පත් වුණා. 1978 ජේ.ආර්. පත් කළ කොමිසමෙන් තමයි සිරිමාවෝ මැතිනයගෙ ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ.“

“එදයින් පස්සේ අවුරුදු 42ක් පුරා කිසිම ජනාධිපතිවරයෙක් මෙවැනි කොමිසමක් පත්  කළේ නෑ. මේ කොමිසමේ අර්ථයම නඩු කියන්න බැරි, නඩු කිව්වොත් පරදින, අපරාධ ඔප්පු වෙන,  අපරාධකරුවන් පිරිසක් බේරා ගන්න   නීතියට වංගු දමා නීතියේ මූලික සිද්ධාන්ත සියල්ල උල්ලංඝණය  කිරීම.  එමෙන්ම ඒ අපරාධ වැළැක්වීම සඳහා නඩු කටයුතු කරගෙන ගිය නිලධාරීන්ට හා නඩු පැවරූ අයට නීතියෙන් දඬුවම් කිරීම. “

“ මෙහෙම දේවල් වෙන්නෙ ගෝත්‍රික සමාජවල. ඇත්තටම මේ ආණ්ඩුව අධිකරණයට බයයි.   මේ නඩු අසාධාරණ නම් අධිකරණයෙන් බේරගන්න බැරිකමක් නෑ දැන්. ඔවුන්ට ඉහළ උසාවියකට ගිහින් මේ අධිකරණ ක්‍රමය තුළින්ම නිර්දෝෂී වෙන්න පුලුවන්. කාටවත් කියන්න බෑ දැන් අධිකරණයට ඇඟිලි ගහනවා බලය යොදනවා කියලා. ආණ්ඩුව ඔවුන්ගෙ. ඒත් අධිකරණය ඉදිරියේ මේ නඩු ඇහුවොත් ඔවුන් පරදිනවා.

“ මේ වෙන්න යන දේ පක්ෂ භේදයකින් තොරව බලන්න කියලා අපි මේ රටේ ජනතාවට යෝජනා කරනවා. බලයට එන ඕනෑම ආණ්ඩුවක අපරාධ නීති ගත කරන ප්‍රවේශයක් හදලා අධිකරණ පද්ධතිය මේ විදිහට විනාශ කරන්න දෙන්න එපා, ඊට එරෙහි වන්න කියන යෝජනාව අපි ජනතාවට කරනවා. “

“ අනික් කාරණාව මේ අරගලය අප කරන්නේ අනුර දිසානායක සහෝදරයත් දඬුවම් ලබන ලයිස්තුවට දාපු නිසා නොවෙයි.  මේ කියන ව්‍යවස්ථා විරෝධී චෝදනා   හෝ  වංචනික ගනුදෙණු පිළිබඳ චෝදනා ජනතා විමුක්ති පෙරමුණට අදාල නෑ. කොහෙත්ම අදාල නෑ. මේ හදන්නේ අපව බය කරන්න නම්  සමූල ඝාතනයකට බිය  නොවී නැවත නැගී සිටි පක්ෂයක්, තුවක්කු උණ්ඩයෙන් මර්ධනය කරන්න බැරි වෙච්චි පක්ෂයක් සෙල්ලම් කොමිසම් වාර්තාවකින් බය වෙන්නෙ නෑ කියන පණිවිඩයත් අපි ආණ්ඩුවට දෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට වෙනුවෙන්, රටේ ස්වෛරීත්වය වෙනුවෙන්, ආරම්භ කළ මේ අරගලය අපි රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම රැගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

 

Exit mobile version