“ගොඨාභය.. තවත් රට ගිනි තියන  මාරක විහිළු කරන්න එපා…“ චිත්‍රපටි හදන ආණ්ඩුවට අනුර කුමාර කියයි!

පෙට්‍රල් බෝම්බ ඇඟේ බැඳගෙන ජනාධිපති මන්දිරය වට කර ජනාධිපති පළවාහැර තමන් ජනාධිපති කරවන්නට උපදෙස් දී ඇති බව පෙන්වන ව්‍යාජ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පුද්ගලයින් පිළිබඳ විධිමත් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, පොලිසිය භාර ඇමතිවරයාටත් පැමිණිලි කර ඇති බවත් එම පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ 09 වැනිදා සූදානම් කර ඇති දැවැන්ත ජනතා උද්ඝෝෂණය මර්ධනය කිරීම සඳහා මෙවැනි ලේ වැකි විකල් කුමන්ත්‍රණ  සිද්ධවන බවත් මේ මාරාන්තික විහිළුව කළ අපරාධකරුවන් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් නම් නිසැකවම මේ පසුපස සිටින්නේ රජය බවත් ඔහු පැවසුවේය.

මේ විලි ලජ්ජා නැති මාරක විහිළු සැපයීම රජය නතර කළ යුතු බව කියමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද කීවේය.

“ ඉතාමත් භයානක වීඩියෝ පටයක් 05වැනිදා සිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. එහි තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ යැයි කියන යම් කෙනෙක් පක්ෂයේ සාමාජිකයන්ට පෙට්‍රල් බෝම්බයක් සකස් කරන ආකාරය පිළිබඳව උපදෙස් දීමයි.


09වැනිදාට එම බෝම්බ ශරීරයේ බැඳගෙන ජනාධිපති කාර්යාලය වටලන ලෙසත් ජනාධිපතිවරයා පළවා හරින ලෙස මාගේ උපදෙස් ලැබී තිබෙන බවත්, ජනාධිපති පළවා හැරීමෙන් අනතුරුව මාව ජනාධිපති ධුරයට පත්කරන බවත් සටහන් වී තිබෙනවා.

මෙය අතිශය භයානක නිර්මාණයක්. ජනතා නැගිටීම් බෝම්බ ප්‍රහාරයන් දක්වා වර්ධනය වීමේ සැලසුම් තිබෙන බව, ඝාතනය කිරීමේ සැලසුම් තිබෙන බව සහ ජනතා විමුක්ති පෙරමුණ ඒවා මෙහෙයවන බවට සමාජයට පණිවිඩයක් දීමේ අරමුණ මේ වීඩියෝ පටයේ තිබෙනවා.

දැන් තාක්ෂණය ඉහළයි. ආණ්ඩුව වහාම මේ වීඩියෝව නිර්මාණය කළේ කවුද, එය සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කළේ කවුද කියලා පරීක්ෂණවලින් සොයාගත යුතුයි. ඊයේම මම පොලිසිය භාර අමාත්‍යවරයාට කතාකොට මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියා. අද දිනයේ අපේ නීතීඥ කණ්ඩායම් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම වීඩියෝව භාරදෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර, වීඩියෝ නිර්මාණය කළේ කවුද? හඬ කාගේද, සමාජ ජාලාවලට නිකුත් කළේ කවුද යන කරුණු රටට ඉදිරිපත් කළ යුතුයි.

ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ භයානක බියගුලු, ලේ වැකි කුමන්ත්‍රණයකටයි. ලෝක අත්දැකීම් බැලුවත්  ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන පාලකයන්   මෙවැනි ලේ වැකි කුමන්ත්‍රණ සිදුකර තිබෙනවා. ජනතාවගේ සාධාරණ නැගිටීම් බියගන්වන්න කුමන්ත්‍රණකාරී ලෙසත් අවලාදකාරී ලෙසත් දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කරනවා. පොලිස්පතිවරයාගේ කලින් ප්‍රකාශ කළ ලිපියත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආයුධ ඉල්ලීමත්, මේ වීඩියෝ පටයත් තුළින් එවැනි කුමන්ත්‍රණයක් පිළිබඳ බරපතළ සැකයක් මතුවෙනවා.

කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොට අදාළ කරුණු සියල්ල රටට හෙළිදරව් කළ යුතුයි. ජනාධිපතිවරයාට විරුද්ධව කුඩා පෝස්ට් එකක් දැම්මත් එක රැයෙන් තරුණයන්ව අත්අඩංගුවට ගත් අවස්ථා තිබුණා. කුඩා හඬ පටයක් සම්බන්ධයෙන් බියවද්දා අත්අඩංවට ගත් අවස්ථා තිබුණා. මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු සොයාගත නොහැකි වුණොත් එය ආණ්ඩුවේ වැඩක් බවට අපට සාධාරණ සැකයක් මතුවෙනවා.

ගෝඨාභය-රනිල් විකෘති කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් බව තහවුරු වෙනවා.  මෙය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් නොවේ නම්, කවුරු විසින් නිර්මාණය කර, සමාජ ජාලාවලට නිකුත් කලේද යන්න රටට හෙළිකළ යුතුයි.

ගෝඨාභයගේ ආණ්ඩුවට අපි කියන්නේ මෙවැනි විහිළුකාරී මාරාන්තික දේවල්වලින් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට උත්තර දෙන්න එපා කියලයි. මෙවැනි බියගුලු ක්‍රියා හරහා ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගන්න, ව්‍යාජ චිත්‍රයක් නිර්මාණය කරන්න, ගොඩනැගෙමින් තිබෙන ජනතා විශ්වාසය පළුදු කරන්න උත්සාහ කරනවා නම් එය අසාර්ථක උත්සාහයක් බව ගෝඨාභය තේරුම්ගත යුතුයි.

ආණ්ඩුවට මෙවැනි තත්වයක් නිර්මාණය කරන්න අවශ්‍ය වී තිබෙන බවට සාධාරණ සැකයක් අපට තිබෙනවා. මනුෂ නානායක්කාර ඇමතිවරයාත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වුවමනාව වෙනුවෙන් කරුණු දක්වා තිබෙනවා.

මෙවැනි තත්වයක් ඇති කිරීමට අපට හෝ අරගලයේ සිටින ව්‍යාපාරවලට හෝ පුද්ගලයන්ට   අවශ්‍ය නැහැ. අපි අවස්ථා ගණනාවකදී උද්ඝෝෂණවල යෙදෙන්නන්ට උපරිම සාමකාමිත්වය ආරක්ෂා කර ගන්නා ලෙස අවධාරණය කර තිබෙනවා. ගල් කැටයක්වත් අතට නොගන්නා තත්වයට සංවිධානය වෙන්න කියලා අවධාරණය කර තිබෙනවා. ඉදිරියේදී දියත් වන උද්ඝෝෂණවලදී ජනතාවට ඉතාම සාමකාමීව කටයුතු කරන ලස අවධාරණය කරනවා. ආණ්ඩුව බියගුලු ලේ වැකි කුමන්ත්‍රණකාරී කටයුතුවලට සූදානම් වන බව පෙන්නුම් කරමින් තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි බාල, බොළඳ කුමන්ත්‍රණවල නියැළීමෙන් තොරව ජනතාවගේ හඬට ඇහුම්කන් දී ඉවත්වී යන ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවධාරණය කරනවා.

 

Exit mobile version