වේදනාවේ මතකය පමණක් ඔටාවා හි ශේෂ කර යන්න ගිය අසරණ මිනිස්සු…

මහා ඛේදවචාකයක මතය ශේෂ වී තිබේ. ඔටාවාහි  Barrhaven  උපනගරයේ සිද්ධ වූ මහා ඛේදවචාකයේ වින්දිත අසරණයෝ ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) අළුයම අවසන් ගමන් ගියහ. සතියකට පෙර සිදුවූ සමූහ ඝාතනයේ වේදනාව බෙදා ගැනීම සඳහා 200කට ආසන්න පිරිසක් රැස්වී උන්හ.   කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) විසින් ඔටාවාහි , ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේ  සංවිධානය කර තිබූ බහු ආගමික අවමංගල්‍ය උත්සවය වචනයෙන් ප්‍රකාශ නොවන මහා වේදනාවකින් මිදී ගොස් ඇති බව පෙනුණි.

අවසන් ගමන…

මාර්තු 6 වන දින දකුණු ඔටාවා හි Barrhaven  උපනගරයේ   නිවසක් තුළ සිදුවූ ඔටාවා ඉතිහාසයත්  කම්පනය කළ මිනීමරුමේ ගොදුරු වූයේ  දර්ශනී දිලන්තිකා ඒකනායක, (35,) තරණ මව සහ  ඇගේ දියණියන් තිදෙනා වන තුන් හැවිරිදි රණයා, සිව් හැවිරිදි අශ්විනි සහ මාස දෙකක කෙලී ය.   ඇගේ හත් හැවිරිදි පුත් ඉනුකය. ඔවුන් සමග වාසය කරමින් සිටි 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ය.

පවුලේ පියා වූ ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේය. ඔහු සිටියේ රෝහලේය. සැත්කම් දෙකකට භාජනය කර තිබිනි. ශාරීරිකව සුවය ලබමින් සිටියත් මේ තරුණ තාත්තා මානසිකව ඔත්පලව සිටියේය. මිනිසෙකුට සිදුවිය හැකි බිහිසුණුම ඛේදවාචකයට මුහුණ දුන් ඒ තාත්තා රොහලේ සිට සිය දරුවන් සිව් දෙනා සහ බිරිය සදාකාලිකව තමන් අත්හැර යන මොහොත දකින්නට පැමිණ සිටියේය. එහෙත් ධනුෂ්ක කිසිම දෙයක් කතා කළේ නැත. මාධ්‍යයට ඔහු වචනයක්වත් ප්‍රකාශ නොකළේය.

ලෝකය අහිමි වු තාත්තා… ධනුෂ්ක වික්‍රමසිංහ සිය පවුලේ අවසන් කටයුතු සඳහා එක් වෙමින්…

ඒ වෙනුවට ඔහු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මේ ඛේදවාචකය වූ බිහිසුණු අවස්ථාවේ දී මුලින්ම ප්‍රතිචාර දැක්වූවන්ට,  තමන් වෙනුවෙන් ප්‍රතිකාර කළ රෝහලට, කැනඩා බෞද්ධ සම්මේලනයට, ඝාතනවලින් පසු ඇති වු කම්පනය සහ අවුල් සහගත තත්ත්වය සමග කටයුතු කිරීමට තමන්ට උදව් කළ ශ්‍රි ලංකා ප්‍රජාව ඇතුළු සියලු කණ්ඩායම්වලට ස්තුතිවන්ත වන බවය.


“මගේ බිරිඳ, දරුවන් සහ හොඳ මිතුරෙකුගේ මරණයෙන් මා  විනාශයට පත් කර ඉරා දැමූවා.. මේ ඛේදවාචකය මා ගැඹුරු ලෙස ව්‍යසනයට පත් කළා. ව්‍යසනයෙන් පසු මා හසරක් නොදැන මානසිකව   අතරමං වු විට අප   වෙනුවෙන් යාඥා කළ , අප සම්බන්ධව කම්පාවී හැඟීම් බෙදා ගත් සියලු දෙනාටම මම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා… “ ධනුෂ්ක වික්‍රමසිංහ ලියා තිබිණි.

ඝාතනය වු ගාමිණී අමරකෝන් ගේ බිරියට සහ දරුවන්ට ඔහුගේ මළ ගෙදරටවත් සහභාගී වීමට නොහැකි වී තිබිණි. ගාමිණීගේ බිරිය දිශානි අසංගිකා ප්‍රනාන්දු වීඩියෝ පණිවිඩයක් අවමංගල්‍ය උත්සවයට එව්වාය. අපේ සංස්කෘතික බැඳීම් ගොඩනැගී ඇති ආකාරය බලනවිට එම වීඩියෝ පණිවිඩය තුළත් ඛේදවාචකයක් ගැබ් වී ඇති බව සිතිනි.

“ ඔයා හැම විටම ආදරණීය සැමියෙක්… ඒ වගේම පුදුමාකාර පියෙක්… මට කියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් මට දැන් කතා කරගන්න බෑ…” ඇය පැවසුවාය.

“ඔයා මෙතනට ආවේ අපේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න. ඒත් අපි කවදාවත් හිතුවේ නැති විදියට අපේ හීන ඔක්කොම බොඳවෙලා ගියා.” ඇය කම්පිතව කියනු ඇසිනි. එ වේදනාත්මක අවසන් මොහොත පහත දැක්වේ.

.අවමංගල්‍යයට පෙර කැනඩා බෞද්ධ සම්මේලනයේ සභාපති නාරද කොඩිතුවක්කු සී.බී.සී ප්‍රවෘත්ති ජාලයට ප්‍රකාශ කළේ  මෙම ඛේදවාචකය Barrhaven හි ශ්‍රී ලාංකික සහ සංක්‍රමණික පවුල්වලට දැඩි ලෙස බලපාන බවය.

“ඔවුන් පැමිණියේ  මෙතරම් කෙටි කාලයකින්  ඔවුන්ගේ ජීවිතය අවසන් කිරීමට ද … අපි විනාශ වුණා. අපි තවමත් විනාශයි,” නාරද කීවේය.

ටොරොන්ටෝ හි ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රදීප් බාලසුබ්‍රමනියන් අවමංගල්‍යයට පැමිණි සිටියේය. ඔහු තම  පවුලේ අයගෙන් ධනුෂ්කට  පණිවිඩයක් රැගෙන ඇවිත් තිබිණි.

“ඉක්මනට සුවවෙන්න, අපි හැමදාම ඔබ  සමඟ ඉන්නවා” බාලසුබ්‍රමනියන් පැවසීය.

ඝාතන සිදු වූ දා සිට තමන් ප්‍රවෘත්ති අනුගමනය කළ බවත් ඒ විනාශයේ තරම වින්දිතයන්ගේ මෘත දේහ දකිමින් විඳින  බවත්   භාග්‍යා ජයවීර බී.සී.සී වෙත පැවසුවාය. භාග්‍යා කියා සිටියේ ඇයට මිය ගිය අය වෙනුවෙන්  ගෞරව දැක්වීමට අවශ්‍ය බවත් මියගිය අයගේ ආත්මයට ශාන්තිය පිරිනැමීමට අවශ්‍ය බවත්ය.

“මුළු පවුලක්ම කැඩිලා… එයාලගේ තාත්තාගෙන් එයාලා  උදුර ගත්තා. මට හිතාගන්න බෑ,” ඇය පැවසුවාය.

ලිබරල් මන්ත්‍රීවරුන් වන ගැරී ආනන්දසංගරී සහ චන්ද්‍රා ආර්යාත්, ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ලීසා මැක්ලියෝඩ් සහ ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් ඇතුළු කැනේඩියානු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකුත් අවමංගල්‍ය උත්සවයේදී කතා කළහ.

“ඔබේ ප්‍රජාව ඔබ සමඟ සිටින බව ඔබ දැන ගැනීමට මට අවශ්‍යය,” නගරාධිපති සට්ක්ලිෆ් වින්දිතයින්ගේ පවුල්වලට පැවසීය. “මෙවැනි කාලයකදී අපි ප්‍රජාවක් ලෙස එකට එකතු විය යුතුයි.

“ඉදිරියට තවත් දුෂ්කර දින තිබෙනවා. මෙය ඉදිරි දින සති සහ මාසවලදී මෙම පවුල් සඳහා සිතාගත නොහැකි කාලයක් වනු ඇති. අපි ඔබේ පවුලේ සාමාජිකයින්ගේ මතකයන්ට ගරු කරනවා.” නගරාධිපතිවරයා කීවේය.

ආගමික කටයුතු කරමින්…

ටොරොන්ටෝ සහ ඔටාවා හි බෞද්ධ භික්ෂූන් අවමංගල්‍ය උත්සය සඳහා පැමිණ සිටිය. උන්වහන්සේලා  සම්ප්‍රදායික බෞද්ධ  අවමංගල්‍ය චාරිත්‍ර අකල්හි මිය ගිය අසරණයින් වෙනුවෙන් ඉටු කළහ.

ඔවුහු වේදනාත්මක මතකයන් පමණක් ශේෂ කර නික්ම ගියහ.

ඝාතකයා

ඝාතන චෝදනා ලද  19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසාට පළමු මට්ටමේ මිනීමැරුම් 6ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ෆෙබ්‍රියෝ ද සොයිසා

ඔහුගේ නීතීඥ ඉවාන් ලිට්ල් බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඩි සොයිසාට එල්ල වී ඇති චෝදනාවල බරපතලකම හේතුවෙන් ඔහු ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බවය.

මානසික සෞඛ්‍ය තක්සේරුවක් ගැන කතා කිරීමට කල් වැඩි බව ලිට්ල් පැවසුවේ බ්‍රහස්පතින්දා ය.

ඝාතක තරුණයාට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති අතර අපරාධවල තත්ත්වයන් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අධිකරණය විසින් අසා නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරුණ ඝාතන සැකකරු  මාර්තු 28 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version