දුර්භික්ෂ බයකින් රට කැළඹූ මාවතගම පළගැටියා

මේ ඉන්දියාව වනසන කාන්තාර පළගැටියා නොවේ... දේශීය පළඟැටි විශේෂයක්...

උපේක්ෂා උඩුවැරැල්ල –

ඉන්දියාව කාන්තාර පළඟැටියාගේ උවදුරට මුහුණ දී ඇත්තේය. වගා අක්කර සිය ගණනින් උගේ ආක්‍රමණයට ලක්ව විනාශ වෙමින් ඇත.  ඒ සම්බන්ධව මීට නොබෝ දිනකට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රට දැනුවත් කළේය.

කාන්තාර පළගැටියා

රට එවැනි තිගැස්මක සිටින මොහොතක මාවතගමින් පළඟැටි උවදුරක් ගැන වාර්තාව වුනේය. මාවතගම පළඟැටි සේනාවක් මතුවී භවබෝග කා දමමින් සැරිසරන ආකරය ගැන මිනිස්සු බිය මුසුව කතා කරන්නට වූහ. කොවිඩ් සමයේ එකම බලාපොරොත්තුව වූ වගාව විනාශ වෙමින් යෑම බිහිසුණු තත්වයක් නිර්මාණය කර තිබිණි. මාවතගම පළඟැටියා ගැන අප තොරතුරු සොයා යන්නේ ඒ පසුබිම තුළය.

පේරාදෙණිය ගන්නොරුව, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාරය. ඔහු මේ පළඟැටි උවදුර සම්බන්ධව සිය ක්ෂේත්‍ර අත්දැකීම් සහ දැනුම අප සමග බෙදා ගන්නේ   මෙසේය.


පසුගියදා හදිසියේ   මාවතගම ප්‍රදේශයෙන් පළඟැටි උවදුරක් ගැන වාර්තා වුණා.     මේ වෙනකොට ඉන්දියාවෙ කාන්තාර පළඟැටි උවදුර සම්බන්ධව අපි රට දැනුවත් කරලා තිබුණේ. ඒ නිසාම මේ කෘමි හානිය ගැන ගොවීන් වෙනදාට වඩා අවධානයෙන් කටයුතු කළා. ප්‍රාදේශීය කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරීන් විසින් වහාම මේ තත්වය අපට  වාර්තා කළා. ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ, කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුළු කණ්ඩායමක් මාවතගම ප්‍රදේශයට ගොස් හානියටපත් ප්‍රදේශ විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

මාවතගමින් හමුවන පළඟැටියා

මේ විද්වත් කණ්ඩායම  කළ නිරීක්ෂණවලින් තහවුරු වුණේ මාවතගමින් මතුවන පළඟැටියා අප අනතුරු හැඟවූ කාන්තාර පළඟැටියා නොවන බවයි.“

එහෙනම් මේ පළගැටි විශේෂය කොහෙන් පැමිණියේ ද. අප අභිමුව ඊලඟට තිබුණු ගැටලුව එයය. උක්ත විද්වත් කණ්ඩායමට අනුව මේ මතුව ඇත්තේ මේ රටේම සිටින පලඟැටි විශේෂයක අසාමාන්‍ය බෝ වීමේ ස්වරූපයකි.

“ විවිධාකාර පළඟැටි විශේෂ අතීතයේ සිට මේ රටේ සිටියා.  ඔවුන් සියල්ලෝම ශාක භාක්ෂකයෝ. මේ පලඟැටියන් ස්වභාවික තත්ව යටතේ පාලනය වන නිසා ඔවුන්ගෙන් වෙන හානිය කැපී පෙනෙන්නෙ නෑ. ඒත් හදිසි  සිදුවෙන දේශගුණික වෙනසක් වැනි පාරිසරික සාධකයක් නිසා ඔවුන්ගේ බෝවීමේ සීග්‍රතාවය වැඩිවීම ස්වභාවිකය. එවැනි තත්වයක් තුළ පලඟැටියන් විසින් වගාවන් ආක්‍රමණය කරන තත්වයක් නිර්මාණය වෙන්න පුලුවන්. මේ එවැනි අසාමන්‍ය බෝ වීමක්“ සනත් එම් බණ්ඩාර කියන්නේය.

වාර්තාවන ක්ෂේත්‍ර තොරතුවලට අනුව දැනට වසරකට පමණ ඉහතදී මෙම පළඟැටි උවදුර මෙම පළාත ආශ්‍රිතව තිබී ඇත. එදා සමාජ අවධානයට ලක්නොවූ මේ පළඟැටියා මුල්ම වරයට විද්වත් අවධානයට ලක් වන්නේ පසුගිය ඉරිදා (31) ය.

අක්කර තුනක පමණ ප්‍රදේශයක් පුරා සතුන් ව්‍යාප්තව සිටියා. අප නිරීක්ෂණය කළ සතුන් සිටියෙ පියාසර කළ නොහැකි අවධියෙ…ඒ කියන්නෙ ශිශු අවධියෙ. ඔවුන්ට තිබුණේ ඉතාම දුර්වල පියාපත්. ඔවුන් පොල් ගස් කඳ දිගේ පැන පැන යනවා. මේ සතුන් නොමේරූ පොල් කොල පවා අනුභව කරන අයුරු අප නිරීක්ෂණය කළා.  ඔවුන් සුහුඹුල් තත්වයට එන්න පෙර මර්දනය කරගැනීම  ඉතාම වැදගත්.

මහාචාර්ය බුද්ධි මාරඹේ සිය නිරීක්ෂණ දක්වා තිබිණි.

බිත්තරයෙන් පිටතට එන කීටයන් සුහුඹුලන් බවට පත්වීමට පෙර අවස්ථා කීපයකදී  හැව හැලීම් කරනු ලබයි. නිරීක්ෂණයට අනුව දැනට ඔවුන් සිටින්නේ අතරමැදි අවස්ථාවකය. මේ තත්වයතුළ මේ පළඟැටියාගේ ඉක්මන් ව්‍යාප්තියක් සිදු නොවන බව විද්වත් මතය ය. මේ අවධියේ දී මර්ධනය පහසු වන්නේ ඔවුන් තවමත් පැතරෙමින් ඇත්තේ ශාක මත පැන පැන යමින් වීම නිසාය.

මේ සම්බන්ධව    පොල් පර්යේෂණායතනයට කරුණු වාර්තා කළා. සුදුසු ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ නියෝජිත කණ්ඩායමක්ද ප්‍රදේශයට පැමිණීමට නියමිතයි.  මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ ඉතාමත් සැර අඩු වර්ගයේ ස්ඵර්ෂක කෘමිනාශක ඉසීමට වහාම කටයුතු කර තිබෙනවා. අප නිරීක්ෂණය කළා ඒ කෘමිනාශක හා ගැටෙන සතුන් විනාශ වන ආකාරය.“

සතියක් පමණ යනතුරු කෘමිනාශක හා ගැටුණු ශාක කොටස් ආහාරයට ගැනීමෙන් වලකින ලෙස කෘෂි බලධාරීහු ජනතාවට උපදෙස් දෙති. දැන් කිව හැක්කේ පැහැදිලි ලෙසම මේ කාන්තාර පළගැටියා නොවන බවය. එහෙත් ඉන්දියාවේ පැතිරෙන කාන්තාර පළඟැටි උවදුරේ අවදානමින් නම් අප තවම මිදී නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කාන්තාර පළඟැටියා තවමත් සිටින්නේ ඉන්දියාවේ. සුළං ධාරා ඔස්සේ මෙරටට පැමිණෙනවානම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේද නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වන ඔක්තොම්බරයෙන් පසු කාලෙදි. මොන දේටත් පරික්ෂාකාරීව සිටීම ඉතාම වැදගත්. නාඳුනන ආගන්තුක පළඟැටි විශේෂයක් තම ගෙවත්තෙහි හෝ වෙනත් වගාවක් ආශ්‍රිතව දක්නට ලැබෙනවා නම්  වහාම    පේරාදෙණියේ පැලෑටි සංරක්ෂණ සේවයට (0812388316) හෝ ගොවි සහන සේවාව (1920) අමතා දැනුම් දෙන්න. “ සනත් එම්. බණ්ඩාර පවසයි.

 

Exit mobile version