හුදෙකලාවේ වැඩ හිඳින නල්ලූර් කෝවිලේ දෙවියෝ

දිනසේන රතුගමගේ –

යාපනයේ නල්ලූර් කෝවිල

මැයි මාසයේදී තුන් වන  බදාදා යාපනයේ නල්ලූර් කෝවිලේ පැවැත්වුණු විශේෂ දේව පූජාවට මෙවර සහභාගී වූයේ බැතිමතුන් දහ අට දෙනෙකු පමණි.

ඊට පෙර දිනයේ යාපනයේ බ්‍රාහ්මණ වංශික පවුලක විවාහ මංගල උත්සවයක් මේ කෝවිලේදී පැවතියත් ඊට සහභාගී වූයේ දොළොස් දෙනෙකි.


සාමාන්‍ය දිනයකදී නල්ලූර් කෝවිලේ උදෑසන පූජාවට සහභාගී වන පිරිස දෙදහසක් පමණ වෙති. යාපනයේ රජයේ කාර්යාල වල සේවයට යන පිරිස්ද යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු හා සිසුවියන්ද මේ නල්ලූර් කෝවිලේ ආශිර්වාදය උදෑසනම ලබා ගෙන සිය රාජකාරී සඳහා යාම සිරිතක් කරගෙන තිබෙන්නේ අනාදිමත් කාලයක සිට පරම්පරාවෙන් පරම්පරාවට ලද දායාදයක් වශයෙනි.

දෙස් විදෙස් සංචාරකයින් අතර පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මේ යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලට මේ නැස්පැත්තිය උදා වී ඇත්තේ කොරෝනා වෛරස් රෝග වසංගතය නිසාය.

කතරගමට අධිපති කතරගම දෙවියන් යාපනයේ වල්ලිට පෙම් බැදීමේ ප්‍රතිපලයක් ලෙසින් ඇති වූයේ යැයි කියන නල්ලූර් කෝවිලට බැතිමතුන් නොපැමිණෙන්නා සේම කතරගමටද දිවයිනේ සෙසු දේවස්ථාන වලටද බැතිමතුන් පැමිණීම අඩු වී තිබේ.

නල්ලූර් කෝවිල් බාරකාර මණ්ඩලයේ කුරුක්කල්වරයෙකු වන පී.තිරුවඥාණම් කුරුක්කල්වරයා කියා සිටියේ මහා යුද්ධ සමයේදීවත් නල්ලූර් කෝවිලට බැතිමතුන් පැමිණීම සීමා නොවූ බවයි.

” සාමාන්‍යයෙන් මැයි මාසයේ තුන් වන බදාදා නල්ලූර් කෝවිලේ පැවැත්වෙන විශේෂ දේව පූජාව යාපනයේ වැසියන්ට ඉතාම වැදගත් පූජාවක් වෙනවා. කෘෂිකාර්මික කටයුතු සාර්ථක වීම නිසා ඒ සහල් වලින් දෙවියන් පිදීමත් මිනිසුන්ට දාන දීමත් සිදුවන්නේ මේ විශේෂ පූජාවත් එක්කයි.

මීට පෙර මේ පූජාවට දස දහසක් පමණ දෙනා සහභාගී වෙනවා. දානය ගැනීමට යාචකයින් පමණක් දෙදාහක් විතර එකතු වෙනවා. ඒත් මෙවර ඔක්කොම උන්නේ දහ අට දෙනයි. දානය දීමක් සිදු වුණේ නෑ. පූජාව විතරක් සිරිතට වගේ කළා.

යාපනයට මහා යුද්ධය තිබුණු කාලෙදිවත්  නල්ලූර් කෝවිලට මෙහෙම සෙනග අඩු වුණේ නැහැ. ඒත් පන්දාහක් විතර ආවා.

කොරෝනා රෝගය නිසා පනවා තිබෙන නීති රීති එක්ක මිනිස්සු එන්න බයයි. ඒක පලවෙනි කාරණාවයි. ඒ වගේම තමයි යුද්දෙට වඩා මිනිස්සු මේ වෛරස් රෝගයට බයයි .යුද්ධයේදී සතුරා දැක ගන්නට ලැබුණා. පෙනෙන්නට හිටියා. නමුත් මේ වෛරසය පෙනෙන්නේ නෑ. ඒක නිසා මිනිස්සුන්ගේ බය වැඩියි.”

මිනිසුන් තුළ දේවවාදයට වඩා විද්‍යාත්මක චින්තනය හා තර්කනය කෙමෙන් කෙමෙන් ඉස්මතු වීමට කොරෝනා වෛරස්  වසංගතය සමත් වූ බව මැනවින් කියා පෑමට යාපනයේ නල්ලූර් කෝවිලේ පූජාවන්ට බැතිමතුන් නොපැමිණීමේ සිද්ධිය කදිම උදාහරණයකි.

වෙනදා මේ කෝවිලේ දෙවියන් ඉදිරියේ බිඳින පොල් ගෙඩි වල කැබලි එකතු කර ගෙන යාමට පැමිණෙන කොලු කුරුට්ටන් සියයකට වඩා දැකිය හැකි වෙයි. වෙළෙන්දෝ හයසීයක් පමණ යාපනයේ නල්ලූර් කෝවිලට එන බැතිමතුන්ට කුමක් හෝ අලෙවි කොට  ජීවත් වූහ. මේ වන විට ඒ කිසිවක් ක්‍රියාත්මක නොවේ.

යාපනය නල්ලූර් කෝවිලේ පැවැත්වෙන පූජාවන්ට මතරව එහි විවාහ මංගල උත්සවයක් ගැනීමද අසීරුම කාරණයකි. කුල භේදය ඉතා තදින්ම පවතින යාපනයේ එවැන්නක් කළ හැක්කේ බ්‍රාහ්මණ වංශික මෙන්ම තවත් උසස් කුල කීපයක සීමිත පුද්ගලයින් පිරිසකට පමණකි.

කවර කුලයක කුමන ජගතෙකු වූවද නල්ලූර් කෝවිලේ සාම්ප්‍රදායට ගරු කිරීමට නොහැකි නම් ඒ කෝවිල තුළට ගොස් හමාරය. පිරිමි පුද්ගලයෙකු කෝවිලට ඇතුලු විය යුත්තේ උඩුකය ඇඳුම ගැලවීමෙන් පසුවය. විවාහ මංගල දිනයටද මේ නීතිය ඇතුලු අනෙක් නීතීන් වලංගුය.

මහා වංශිකයින්ගේ විවාහ මංගල උළෙලකදී ඔවුන් දෙපලගේ ඇදුම් ආයිත්තම් හා පූජා භාණ්ඩ රැගෙන යාම සඳහා තරුණ තරුණියෝ විස්සක් පමණ සැදී පැහැදී ඔවුන්ද එකම ඇඳුමකින් සැරසෙයි. නමුත් කොරෝනා වෛරස් වසංගතය මැද පැවති විවාහ  මංගල උත්සවයට සේරම කිරීමට සිටියේ විස්සකට වඩා අඩු පිරිසකි. එහෙත් මංගල්ලය සිදු වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැයි මාසයේ තුන් වන බදාදා දේව පූජාවද සිදු වුණි. නමුත් මහා බෙර වැයුම් කන් බිහිරි වන අන්දමේ නාද ස්වරම් නලා හඩ හා ශබ්ද වාහිනී යන්ත්‍රවල හඩක් නල්ලූර් කෝවිලෙන් අසන්නට නොලැබුණි. කොරෝනා වෛරස් උවදුරත් සමග ඇති වූ මේ විපර්යාසය පරිසරය සුරැකීමට විශාල පිටිවහලකි. නමුත් මිනිසාට රෝග බිය හමාර වූ විගසම යළිත් මේ සියල්ල විනාශ කොට දමනු ඇත.

 

Exit mobile version