හුදකලා කළ උරුමයේ මලගම

අනුරාධපුර, පොලොන්නරුව පූජා නගර ඇතුළු ලංකාවේ  පැතිරී ඇති සියලුම ඓතිහාසික පුදබිම්  මේ වනවිට  මිනිසුන් නොගැවසෙන   හුදකලා තැන්ය.   හුදකලාව  පුදබිමක අධ්‍යාත්මික ජීව ගුණය වැඩි කරන්නේය.   විනයක් සහිත සමාජයකදී වසර දහස් ගණනක් පැරණි   ශුද්ධ භූමි ආරක්ෂා වන්නේ   හුදකලාවේ චමත්කාරය තුළය. එහෙත් අප සමාජයක් ලෙස අත්විඳිමින් ඉන්නේ එහි පරස්පරය ය. මේ පුදබිම් හුදකලා වීමත් සමග වඩාත් අනාරක්ෂිත වන ආකාරය පෙනුණි.

පොලොන්නරු පුරාවිද්‍යා භූමිය  පුරාවස්තු අපරාධකරුවන්ගේ  නිරන්තර පීඩනයට ලක්වන භූමියකි. පබළු වෙහෙරේ බුදු සිරස් කුඩු වුණේ අප දන්නා වකවානුවේය. මුරගල් ඇදගෙන ගියේ  මතක ඇති කාලයේය. නයිපෙණ වෙහෙර,   අංක දෙක ශිව දේවාලය පමණක් නොව පූජා භූමිය මැද තිබුණු ගෝපාල පබ්බතයත්  දෙනෝ දාහක් ගැවසෙන කාලයේ  කුඩු කරන්න හැදු කාලකණ්ණි පොලොන්නරුවේ උන්හ. රටම වසා දැමූ මේ  වකවානුවේ  මිනිසුන්ගෙන් තොර  පූජා භූමි  පුරාවස්තු වනසන අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වැඩි බරක් යෙදිය යුතු විය. විශේෂයෙන්ම ක්ෂේත්‍ර කටයුතු වලදී වැදගත්වන සේවකයන් සම්බන්ධව තීන්දු ගැනීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් මතුවිය. ඔවුන්ට දිස්ත්‍රික්ක අතර සංචරණයෙන් වැළකී ආසන්නම දිස්ත්‍රික් කාර්යාලයට සේවයට වාර්තා කරන්නට නියම කෙරිනි. පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල්වරයා පොලිස්පතිවරයා වෙතින් කළ ඉල්ලීමක් ප්‍රකාරව මේ ගැටලුව යම්තාක් දුරට විසඳාගත හැකි විය.

අගුලු දැමූ පොළොන්නරුවේ තිවංක පිළිමගෙය

තත්වය තවත් බරපතල වූයේ අනියම් පදනම මත බඳවාගෙන ක්ෂේත්‍ර තුළ රඳවා මුර සේවයේ හා කම්කරු සේවයේ යෙදවූ සේවක පිරිස ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය නිමා වූ පසු කෙටි සේවා දිගුවක්වත් නොදී සේවය අවසන් කිරීම නිසාය.   කොවිඩ් වසංගතය හමුවේ අනුරාධපුර පොලොන්නරු පූජා භූමිතුළ රැඳෙමින් පුදබිම් නඩත්තුකර පවත්වා ගැනීම මතු නොව, එහි ආරක්ෂක කටයුතුවලට ද සැලකියයතු ආවරණයක් දුන් මේ සේවක පිරිසේ සේවය  අප්‍රේල් 30 දා  නිමවිය.  මේ තීන්දුව ගැනීමට ඉදිරිපත් කළ ප්‍රායෝගික  පසුබිමක් ද තිබිණි.


තාවකාලික  පදනම මත කම්කරු හා මුරකාර රැකියා සඳහා මේ පිරිස බඳවාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්  වැටුප් ලබා දීමේ පදනම මතය.  පාස්කු ප්‍රහාරයෙන් ව්‍යසනයට ලක් වූ සංචාරක කර්මාන්තය කොවිඩ් නිසා නැත්තටම නැති වුණේය. සංචාරක කර්මාන්තයෙන් පොෂණය වෙන මධ්‍යම සංස්කෘතික අරමුදල පූර්ණ ආදායම් විහීන තත්වයට පත් විය. ඒ හරියටම මාස දෙකක් ඇතුළතය.  දශක තුනකට අධික කාලයක් විශාල වශයෙන් මුදල් එකතු වූ  අරමුදලක්  මාස දෙකක් පැවතුන  ව්‍යසනයකට මුහුණ දිය නොහැකි තරම් වැහැරී ගොස්ය. මේ ප්‍රකාශ වන්නේත්  අසංවර  දේශපාලන අවභාවිතාවන්හි නිශ්ඡිත ප්‍රතිඵලයකි.

ආචාර්ය රෝලන්ඩ් සිල්වා ගේ ප්‍රමුඛ මැදිහත්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් වන්නේ අතිශය ප්‍රායෝගික සැලැස්මකට අනුවය. එය ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රායෝගික දැනුම යාවත්කාලීන කළ ශාස්ත්‍රීය අධ්‍යයන කේන්ද්‍රයක් විය.  මධ්‍යම  සංස්කෘතික අරමුදලට බිහිසුණුම අපරාධය කරනු ලැබුවේ පසුගිය රජයේ අවසාන කාර්තුවේ සිටි සංස්කෘතික ඇමතිවරයා ය.

අරමුදලේ මූල්‍ය පදනම රඳා පැවතියේ  එහි ස්ථාවර තැන්පතුවේ ශක්තිය  මතය. දේශපාලකයන් මොන මට්ටමින් මෙම ආයතනයට බලපෑම් කළ ද මේ ස්ථාවර තැන්පතුවලට අත තැබුවේ නැත. එහෙත් පසුගිය ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව මෙම ස්ථාවර තැන්පතුවට අත්තනෝමතිකව අත තැබුවේ. සිය දේශපාලන ව්‍යාපෘතියේ වැදගත්ම අංශය සේ සැලකූ පන්සල් සඳහා මුදල් පරිත්‍යාග කිරීම සිදුකළේ මේ මුදලිනි.

ඔහුට එරෙහිව ඔහුගේ රජය මගින්ම විනය පරීක්ෂණයක් ආරම්භ වූයේය. එය යටපත්ව යෑම අවබෝධ කරගත හැකිය. එහෙත් දේශපාලන වෙනස් වීමකින් අනතුරුව හෝ ඒ මූල්‍ය අපරාධය ගැන සංවාදයට ලක්වන්නේ නැත. හැමෝගේම කිල්ලෝටවල හුණු ටික ටික තියන විට කාරණා සිද්ධ වන්නේ එසේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතනයක අවසාන මූල්‍ය පදනමත් දෙදරවා දැමූ විට ඒ අපරාධවල ප්‍රතිඵල ප්‍රකාශ වන්නේ මෙවැනි දුර්ග සමයක රටේ උරුමය පිළිබඳව මතුවන  අනාරක්ෂිත තත්ව ලෙසය. උරුම කළමනාකරණ ක්ෂේත්‍රයේ දහස් ගණනකට රැකියා අහිමි කිරීමේ අවදානමක් ලෙසය. ඒ මේ ගැටලුවේ එක් අමානුෂික කෙළවරකි.

එහි අනෙක් කෙළවරෙහි ඇත්තේත්    ඒ තරම්ම නිර්දය දේශපාලනයකි. උවදුරු සමයේ පුරාවිද්‍යා භූමි තුළම රැඳෙමින් සේවය කළ මේ සේවක පිරිස පසුගිය ආණ්ඩුවේ දේශපාලන පත්වීම් බව සැබෑය.   එහෙත් ඔවුන් මේ රටේ පුරවැසියන්ය. අනපේක්ෂිත ලෙස ආර්ථික අවස්ථා බිඳවැටෙන සමාජයක් ගොඩ ගැනීම සඳහා සල්ලි බෙදමින් යන ආණ්ඩුවට මේ තරුණ පිරිස අන්ත අසරණ නොකර   තව මාසයක දෙකක සේවා දිගුවක්  දිය හැකිව තිබිණි. උවදුරු සමය තුළ මේ පුරාවිද්‍යා භූමි අනාරක්ෂිත නොකරන්නට කටයුතු කළ හැකිව තිබිණි.     එහෙත්   ආණ්ඩුවේ සමහර දේශපාලකයන්ගේ විරෝධතාවය මත එම සේවා දිගු ලබාදීම නැවැත්විනි.

මේ වනවිට දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවයේ යෙදෙන කම්කරුවන්, වෙනත් ක්ෂේත්‍ර වැඩවලින් මුදවා පුරවිද්‍යා ස්ථාන රැකවල් කිරීම සඳහා අනුයුක්ත කර තිබේ. එම තාවකාලික තත්වය ඊලඟට පත්වන ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා විසඳනු ඇත. ඒ සිය දේශපාලන සහායකයන් මධ්‍යම සංස්කෘතික අරමුදල පුරවා දැමීමෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ මේ රටේ මෙතෙක් වැඩ කටයුතු පෙළ ගැසුණු හැටිය. වෙනස් විය යුතුව ඇත්තේ ඒ අවිනීත දේශපාලන හැසිරීමය. ගැටලුව වන්නේ ඒ අශිෂ්ටකම යාවත්කාලීන කර පවත්වා ගැනීම සඳහාවත් මධ්‍යම සංස්කෘතික අරමුදල තව මාස කීපයක් හෝ පවතී ද යන්නය.

 

 

Exit mobile version