රටේ ගෞරවනීයම ශාස්ත්‍රීය තනතුරවන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර සේවයක් නොකර දේශපාලනයේ   අනුමැතිය ලැබිය යුතු  කොන්ත්‍රාත් තනතුරක් කරයි!

ඇමතිගේ පුද්ගලික කුහක වෛරී හැසිරීමට එරෙහිවන්නැයි පුරාවිද්‍යා විද්වත්හු පාර්ලිමේන්තුවෙන් ඉල්ලති!

ජානක ලියනආරච්චි –

වසර තිස් දහසකට වඩා පැරණි ප්‍රාග්  ඓතිහාසික යුගයේ සිට පැවත එන රටේ අති විශිෂ්ට උරුම සම්පත ශාස්ත්‍රීයව කළමනාකරණය කරනු ලැබූ, ජාතිය සතු අතිශයින්ම වැදගත් සංවේදී මෙන්ම ගෞරවනීය ශාස්ත්‍රීය ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර අස්ථාවර කර එය දෙවසරකට වරක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගන්නා පුද්ගලයෙක් වෙත පැවරීමට බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාවරයාගේ මූලිකත්වයෙන් කෙරෙන වැඩපිළිවෙළ සම්බන්ධව පුරවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ බරපතල විරෝධයක් මතු වී තිබේ.

ඒ අනුව මෙතෙක් රටට වගකියන අතිශය වගකීම් සහිත ගෞරවනීය තනතුර වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර තනතුරක් නොවී වසර දෙකෙන් දෙකට දේශපාලකයින්ගෙන්  සේවා දිගු ලබා ගත  යුතු කොන්ත්‍රාත් සේවයක් බවට පත්කිරීම බරපතල ජාතික අපරාධයක් බව පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ අවිචාරවත් හැසිරීම මත පදනම්ව කේලම් සහ ගතු මත යැපෙමින් තමන්ගේ පුද්ගලික කොන්තර පිරිමසා ගැනීමේ අභිලාෂය සහිතව ඔහු විසින් කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පුරාවිද්‍යා ගවේෂණ, සංරක්ෂණ, සහ කළමනාකරණය සම්බන්ධව    ශාස්ත්‍රීය දැනුම මතු නොව මෙම ආයතනය තුළ කටයුතුකර ලබන  ප්‍රායෝගික අත්දැකීම් සහ පලපුරුද්දත් අතිශය සංකීර්ණ නෛතික කාරණාමත පදනම්ව තීරණ ගැනීමේ පරිචයත් මෙම තනතුරට පත්වන විද්වතුන් සතුව තිබිය යුතු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම වැනි විශේෂ ආයතනවලට පැරෂුට් කාරයින් බස්සවා රාජකාරි කළ නොහැක්කේ එම රාජකාරි ව්‍යුහය තුළම ඇති සුවිශේෂී විද්‍යාත්මක, ශාස්ත්‍රීය සහ නෛතික අත්දැකීම් නොමැතිව එම රාජකාරිය ආවරණය කිරීමට නොහැකි නිසා බවත් පුරාවිද්‍යා සේවයත් එවැනි සුවිශේෂී ශික්ෂණයක් සහිතව පරිපාලනය විය යුතු සේවයක් බවත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

ඉතිහාසායේ පළමු වරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට කොන්ත්‍රාත් පදනම මත අයදුම්පත් කැඳවා තිබූ අයුරු…

මෙතෙක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය අංශවල ඉහළම පළපුරුද්ද සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වූ විද්වතා වූ අතර එය රටේ සෑම ශාස්ත්‍රීය සහ තාක්ෂණික ආයතනයකම පැවති සම්ප්‍රදාය වූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනන්‍ය හැඩයක් සහිතව මෙතෙක් ස්වාධීනව කටයුතු කළේ එම පත්වීම් පදනම නිසා බවත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

මේ සම්ප්‍රදාය ආචාර්ය සෙනරත් දිසානායක පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල්වරයා දක්වා ආරක්ෂා වූ අතර ගැටලු සහිතව වුව ද දෙපාර්තමේන්තුව ගෞරවණීය සේවයක් සිදුකරනු ලැබුවේය.

මේ තරම් ඍජු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය කාර්යය ව්‍යසනයට ලක් කරමින් දේශපාලන මැදිහත්වීමට අවකාශ සැලසෙන්නේ හිටපු සංස්කෘතක ඇමති මහින්ද රාජපක්ෂගේ දේශපාලන හිතවතෙක් වන  විශ්විද්‍යාල ආචාර්යවරයෙක්වූ  අනුර මනතුංග සියලුම සම්ප්‍රදායන් බිඳ දමා  ඉතිහාසයේ මුල්ම වරට දේශපාලන පත්වීමක් ලෙස පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමත් සමගය.

දෙපාර්තමේන්තුව පරිපාලනය විය යුතු ආකාරය, ඒ පිළිබඳ නෛතික අවබෝධය සහ අත්දැකීම් නැති අනුර මනතුංග අවසානයේ දී සිය වගකීම් කරගැනීමට නොහැකිව රට හමුවේ විලිලජ්ජාවට පත්ව  පසුගිය ජූනි 15 වැනිදා   ධූරය හැර ගියේය.

එම හැර යෑමත් සමග ඇමතිවරයා ස්වකීය අභිමතය පරිදි විවිධ පුද්ගලයින් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරනු ලැබුවේ ස්ථිරව එම තනතුරට පත් කළ හැකි නිලධාරීන්   දෙපාර්තමේන්තුවේ සිටිය දී බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

අනතුරුව ආචාර්ය ප්‍රදීපා සේරසිංහ  රාජකාරි ඉටුකරන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කරන ඇමතිවරයා  ඔක්තොම්බර් 16 වැනිදා ඇය විශ්‍රාම ගිය පසු දින කීපයක් මෙම තනතුරට පුද්ගලයෙක් නම් නොකර තබා දින තුනකට    වැඩ ආවරණය කිරීමට මධ්‍යම සංස්සකෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය ගාමිණී රණසිංහ, පත් කරනු ලැබුවේය.

දැනට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩ බලන්නේ  බුද්ධ ශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධූරයට දෙපාර්තමේන්තුවේ සිටින සුදුසුකම් සහිත න නිලධාරීන්ගේ  පත්වීම ගැන ඇමතිවරයා විසින් සලකා නොබලන්නේ ඔවුන් සමග ඇති පුද්ගලික කෝන්තරමත පදනම්ව බව ද  දෙපාර්තමේන්තු  ආරංචි මාර්ග කියයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පුද්ගලයෙක් පත්කිරීමට තමන්ට බලයක් නැති    බවත්, එය කැබිනට් අනුමැතිය මත සිදුකරන පත්වීමක් බවත් පාර්ලිමේන්තුවට කියමින් බුද්ධ ශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු ඇමතිවරයා සිය පුද්ගලික අභිමතය මත  කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව  එම අභ්‍යන්තර තොරතුරු මාර්ග පෙන්වා දී ඇත

අවුරුදු 133ක් පැරණි ලංකාවේ ගෞවරණීයම ශාස්ත්‍රීය ආයතනය වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,  කුහක මුග්ධ දේශපානඥයෙකුගේ පෞද්ගලික වෛරය සහිත අගතිගාමී හැසිරීම හේතුවෙන්  ව්‍යසනයට පත් කිරීමේ අපරාධයෙහි කොටස්කරුවන් බවට    සමස්ථ පාර්ලිමේන්තුවම පත් නොවනු ඇතැයි විශ්වාස කරන බව පුරාවිද්‍යාව පිළිබඳ රටේ  ප්‍රමාණික විද්වත්හු පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය විවාදයට ලක්වන අද දිනයේ දී මේ සම්බන්ධව දැඩි අවධානයට ලක්කරනු ඇතැයි ද ඔවුහු අපේක්ෂා කරති.

 

 

Exit mobile version