මහාචාර්ය මීගස්කුඹුරගේ ශාස්ත්‍රීය ක්‍රමවේදය.

චින්තක රණසිංහ – 
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය –

එක් යුගයක් නිමා කරමින් සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයට මාහැඟි මෙහෙවරක් ඉටු කළ අග්‍රේසර බුද්ධිමතෙක් වූ  සම්මානිය මහාචාර්ය පී.බී. මීගස්කුඹුර සිරිමතානෝ  පසුගිය සතියේ  (20) දා මෙළොව හැර ගියහ. 
ඉන්දියාවෙහි පූනේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙක් වූ එතුමෝ  භාෂා අධ්‍යයනය, වාග් විද්‍යාව, සිංහල සංස්කෘතිය වැනි ක්ෂේත්‍ර ගණනාවකට අදාළව ශාස්ත්‍රීය පර්යේෂණ ගණනාවක් කළ කුශාග්‍ර බුද්ධිමතෙක් වූහ. 
සියම් ශ්‍රී ලංකා ආගමික සම්බන්ධතා (හේමපාල විජයවර්ධන මහතා සමග), සිරිලක වැදි ජන පුරාණය පර්යේෂණ ග්‍රන්ථ ද, පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි, වෙස්මුහුණ, මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ, ලංකා පුරාණය, යන පරිවර්තනයන්ද එතුමාගේ ශාස්ත්‍රීය මෙහෙවර පිළිබඳ වූ සාධක අල්පයකි.
එතුමන් දිවිමන්ව හුන් අවධියේ කැලණිය සරසවියේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහයන් විසින් රාවය වෙබ් අඩවිය වෙත සැපයූ ලේඛණයක් එතුමා දැයෙන් සමුගෙන සත් දිනක් පිරෙන අද දින මෙසේ  පල කරනු ලබන්නෙමු.

 මේ ලිපියේ අරමුණ වන්නේ මහාචාර්ය පී.බී. මීගස්කුඹුර නම ඇතැම් ශාස්ත්‍රීය ලිපිවල යොදා ගත් විශ්ලේෂණ ක්‍රම ඔහුගේ යුගය හා ආයතනික සන්දර්භය සලකා බලන විට කුමනාකාර මෙහෙයක් ඉටු කළේද යන්න විමසා බැලීමයි. යුගය ලෙස මෙහි අර්ථ දැක්වෙන්නේ ඔහු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට පිවිසි 60 දශකයේ අග භාගයේ සිට දළ වශයෙන් 2000 දක්වා කාලපරිච්ඡේදයයි. ආයතනික සන්දර්භය යනු 1921 සිට ඔහුගේ දායකත්වය සිදුවූ කාලපරාසය දක්වා සිංහල භාෂාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් (ඉගැන්වීම හා විශ්ලේෂණය සම්බන්ධයෙන්) යොදා ගත් ක්‍රමවේදයන්ය. 1921 පදනම් වර්ෂයක් ලෙස ගැනෙන්නේ (සිලෝන් යුනිවර්සිටි කොලේජ් ඇරඹුවේ එම වර්ෂයේ බැවිනි.

මේ විග්‍රහය සඳහා යොදා ගැනෙන මීගස්කුඹුරගේ ලිපි 3කි.
ඒවා නම්,
  1. කොග්ගල මහා ප්‍රාඥයා ලිපි සංග්‍රහයට ලියූ (සිංහල භාෂා රීතිවාදය හා මාර්ටින් වික්‍රමසිංහ’ නම් ලිපිය. මෙය පසුව දයාපාල ජයනෙත්ති සංස්කරණය කළ ‘ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය’ (1997) නම් ලිපි සංග්‍රහයේ පළවිය.
  2. මහාචාර්ය හෙට්ටිආරච්චිගෙන් ශබ්ද කෝෂ, විශ්ව කෝෂකරණයට සහ ව්‍යඛ්‍යාන සාහිත්‍යයට සිදුවූ සේවය’ – සංස්කෘති – 17 කලාපය 4 සඟරාව – 1983 හෙට්ටිආරච්චි විශේෂ අංකය.
  3. .පුද්ගල රීතියෙන් යුග රීතියක් වෙන : කුමාරතුංග භාෂා රීතිය සුවහස් නය මනැසි ඉසිවරයාණෝ ලිපි සංග්‍රහය. 2004. විසිදුනු ප්‍රකාශකයෝ
මේ ලිපි මෙම ලිපියේදී මා කෙටියෙන් හඳුන්වන්නේ වික්‍රමසිංහ ගැන ලිපිය, හෙට්ටිආරච්චි ගැන ලිපිය හා කුමාරතුංග ගැන ලිපිය වශයෙනි.
මේ ලිපි 3 පමණක් මෙහිදී තෝරා ගත්තේ අන්‍ය වැදගත් ලිපි විශාල ප්‍රමාණයක් වෙතත් අපට ලැබී ඇති ඉඩකඩ සලකමිනි.
 
ශාස්ත්‍රකරණයට පිවිසෙන විට සිංහල අංශ
1921-1960 කාලවකවානුවේ විශ්වවිද්‍යාල සිංහල අංශ පිළිබඳ විමසා බැලීමේදී පෙනීයන්නේ (මේ සම්බන්ධයෙන් අප බොහෝ තොරතුරු ලබා ගත්තේ කේඑන්ඕ ධර්මදාසගේ ලිපි ලේඛනවලිනි. ඉඩකඩ නොමැති නිසා මෙහි එම ලිපි ලේඛන පිළිබඳ නොදැක්වේ.) මුල් කාලයේ සිංහල අධ්‍යයනය බෙහෙවින් අටුවා, ටීකා සහිතව සම්භාව්‍ය ග්‍රන්ථවල පෙළ අධ්‍යයනයටත් නිරුක්ති ශාස්ත්‍රයට (exymology) වලට මුල්තැන දෙමින් ප්‍රාචීණ භාෂාවල ස්වරූපයෙන් සිංහල අධ්‍යයනයටත් යොමුවූ බවය.
මේ සීමාවන් ඉක්මවමින් සිංහල අංශ තුළ මානව විද්‍යාවේද ආභාසය ලබා ‘සංස්කෘතික අධ්‍යයනය’ විෂය ක්ෂේත්‍රය රැගෙන එන්නේ London සරසවියේ ආචාර්ය උපාධියක් ලැබූ මහාචාර්ය එම්.ඩී. රත්නසූරියයි. හෙට්ටිආරච්චිගේ පුරෝගාමිත්වයෙන් 1944දී එදිරිවීර සරච්චන්ද්‍ර සිංහල අංශයට ඇතුළත් කරගැනීමෙන් පසුව සමකාලීන සාහිත්‍යය නැතහොත් නූතන සිංහල සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනය කිරීමේ පදනම සිංහල අංශ තුළ නිර්මාණය වූ බව පෙනේ. මේ වනවිටත් සරච්චන්ද්‍ර නූතන සිංහල සාහිත්‍යය පිළිබඳ ප්‍රාමාණික වැඩ කොටසක් ඉටු කර තිබූ නිසා එම විෂය ප්‍රදේශය පිළිබඳ විශාල උනන්දුවක් පේරාදෙණිය සරසවිය තුළ ඇතිවී ගිය බව ප්‍රකට කරුණකි.
සංස්කෘතික ඉතිහාසය ලිවීමේ බලසම්පන්නම ශාස්ත්‍රඥයා වන කේඑන්ඕ ධර්මදාස පෙන්වා දෙන ආකාරයට පේරාදෙණියේ ස්වර්ණමය යුගය 1952-1972 දක්වා වූ විසි වසරයි. 50 දශකය තුළ සිංහල අංශය ශීඝ්‍රයෙන් ගොඩනැගුණු බව ඔහු පෙන්වා දෙයි. එයින් ඔහු අදහස් කරන්නේ පර්යේෂණාත්මක ලේඛන බිහිවීම, පාඨමාලා ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව පුළුල්වීම, විවිධ විෂය ක්ෂේත්‍රයන් වෙත තම අවධානය යොමු කළ විවිධාංගීකරණය වූ ආචාර්ය මණ්ඩලයක් නිර්මාණය වීම යනාදිය බව පැහැදිලිය.
 
මීගස්කුඹුර ආගමනය –
මේ අනුව මීගස්කුඹුරගේ ආගමනය සිදුවන 60 දශකය වන විට සිංහල අංශය එහි උච්චතම කූඨයට ගමන් කොට තිබූ අතර හෙට්ටිආරච්චි, සරච්චන්ද්‍ර, ආරියපාල ආදීහු තීරණාත්මක බලපෑම්සහගත චරිත ලෙස ක්‍රියාත්මක වූහ.
ලංකාව පුරා සිංහල අංශවලට පැතිර යන මීගස්කුඹුර, කේඑන්ඕ, ආනන්ද කුලසූරිය, සුරවීර, බලගල්ල, විමල් දිසානායක, ඇම්.ඇච්. පීටර් ද සිල්වා, ජේ.බී. දිසානායක, තිස්ස ජයවර්ධන, හේමපාල විජේවර්ධන, විමල විජේසූරිය යනාදී පේරාදෙණි චරිත අතර වාග් විද්‍යාව නමැති විෂය කුලකය තුළ ස්ථානගත කළ හැකි ප්‍රධානතම පිරිසවන්නේ ජේ.බී., කේඑන්ඕ, මීගස්කුඹුර, බලගල්ලේ, ඒ.ඒ. අබේසිංහ, තිස්ස ජයවර්ධන යනාදී පිරිසයි. මේ අය ලාංකීය නූතන වාග් විද්‍යා අධ්‍යයනයන්ට පදනම දැමූ ම.ව. සුගතපාල ද සිල්වාගේ ප්‍රථම හා සමීප ශිෂ්‍ය පරපුරයි. හෙට්ටිආරච්චිද මොවුන්ගේ ප්‍රධානතම අනුග්‍රහශීලී ගුරුවරයා වන නමුදු විෂයානුබද්ධව විමසීමේදී මෙහිලා සියුම් ප්‍රභේද කීපයක් තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය.
 
ඒවා නම්,
  1. කේඑන්ඕ සමාජ වාග් විද්‍යාව වෙත පිවිසීම
  2. ජේ.බී. විග්‍රහාත්මක වාග් විද්‍යාව වෙත පිවිසීමෙන් පසු සුළු කලකට පසු වාග්විද්‍යාව හා ව්‍යාකරණය අතර අමුතුම තැනකට පිවිසීම.
  3. බලගල්ලේ, ඓතිහාසික වාග් විද්‍යාව වෙත පිවිසීම. (මෙහිදී මුල සිටම ඔහු තුළ ශක්තිමත්ව වැඩුණු ප්‍රාචීණ පදනම නැගී සිටි බව පෙනෙයි.)
මෙහිදී මීගස්කුඹුර මේ සියලු දෙනාවම වඩා වෙනස් අනන්‍යතාවක් නිර්මාණය කරගනිමින් තමාටම අනන්‍ය සුවිශේෂ මගක් තෝරා ගත් බව පෙනෙයි. ඒ මග නම් සිංහල අංශවල විවිධ විෂය ක්ෂේත්‍ර වන සංස්කෘතික අධ්‍යයනය, ජනශ්‍රැති අධ්‍යයනය, වාග් විද්‍යාව, සම්භාව්‍ය හා නූතන සාහිත්‍ය විචාරය, ප්‍රාචීණ අධ්‍යයනය හා වෙනත් අදාළ සියලුම විෂයයන් සංකලනය කර ගනිමින් අර්ථකථනීය ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි.
 
සමකාලීයෙන් බොහෝ ලිපි ලේඛන පළ කර 60 හා 70 යුගයේ මීගස්කුඹුර ලියා ඇත්තේ (නැතහොත් පළ කොට ඇත්තේ) ඉතා අඩුවෙනි. එහෙත් ඔහු හෙට්ටිආරච්චිට බෙහෙවින් සමීපව ඔහුගේ පර්යේෂණ කටයුතුවල පසුකඩගත් ආකාරය නිරීක්ෂණය කළ හැකිය. එසේම පාඨාන්තර සංසන්දනය, පරිවර්තන, අත්පිටපත් සැකසීම, පශ්චාත් උපාධි නැවත සකසා සංස්කරණය කිරීම යනාදී කාර්යයන් රැසක් දිගුකාලීනව ඔහු අතින් ඉටුවූ බවට සාක්ෂි තිබේ. ධුරාවලියේ පහළම ආධුනිකයාගේ සිට ගනනාථ ඔබේසේකර වැනි යෝධයන් දක්වා තමන්ගේ ශාස්ත්‍රීය කටයුතු සඳහා මීගස්කුමුරගෙන් සහය පැතීම දිගු කලක් සිදුවූ ක්‍රියාවලියක් වූ අතර සමකාලීනයන් ඔහුව හඳුන්වන කෙටිම හා ආදරණීය නාමය වන ‘පුංචි’ යන්න ඇත්තෙන්ම ශාස්ත්‍රීයව විමසූ විට සැබෑ ආකාරයෙන් ධ්වනිත විය යුත්තේ (යෝධ යන අර්ථයෙනි.
 
අර්ථකථනීය එළැඹුම

මීගස්කුඹුරගේ මුල්කාලීන රචනාවල සිට අද දක්වා ක්‍රමිකව සංවර්ධනය වන්නේ අර්ථකථනීය එළඹුමයි. ජයදේව උයන්ගොඩ තම සුප්‍රකට කෘතිය වන සමාජීය – මානව විද්‍යා පර්යේෂණ – දාර්ශනික සහ ක්‍රමවේදී හැඳින්වීමක් (2010) කෘතියේ අර්ථකථනීය එළඹුම හඳුන්වන්නේ.
ස්වභාවික ලෝකය ද්‍රව්‍ය වස්තූන්ගෙන් සමන්විත වන්නා සේම, මානවීය ඓතිහාසික ලෝකය සමන්විත වන්නේ ලේඛන, කලා නිර්මාණ, මිනිස් ක්‍රියාකාරකම් යන මේවායිනි. ඒවායේ අර්ථය තිබෙන්නේ කොතැනද? දිල්තේගේ පිළිතුර නම්, එය තිබෙන්නේ කර්තෘගේ මනෝමූල අභිලාෂය (subjetive intention) තුළ බවයි. තේරුම් ගැනීමේ (අවබෝධනයේ) කාර්යය වන්නේ, එම ලේඛන, කලා නිර්මාණ, මිනිස් ක්‍රියාකාරකම් ආදිය බිහිවූ ජීවන ලෝකය සොයාගෙන, ඒවායේ කර්තෘන් තමන් තේරුම් ගන්නේ යම් ආකාරයටද, ඒ ආකාරයටම ඒවා තේරුම් ගැනීමයි. ‘තේරුම් ගැනීම’ (අවබෝධනය) යන සංකල්පයේ ඇති සහසංවේදී තේරුම් ගැනීම (empathic understading) යන අර්ථය අප දැන් සිහිපත් කළ යුතුය. අප මීට පෙරද දැක ඇති පරිදි, එයින් අදහස් වූයේ, ලේඛනයක හෝ ක්‍රියාවක හෝ අර්ථය එහි කර්තෘවරයා දැක සිටි ආකාරයට, කර්තෘවරයාගේ දෘෂ්ටි කෝණයෙන්, අර්ථ කථකයා විසින්ද දකිනු ලැබීමය. අර්ථ කථකයා එය කරන්නේ, තමන් ජීවත් වන ලෝකයෙන් මිදී, කර්තෘවරයාගේ යුගයට හා පසුබිමට නිර්මාණශීලීව ගොස්, කර්තෘවරයාගේ මානසිකත්වයට කිමිද, කතුවරයා අභිලාෂ කළ අර්ථය සොයාගෙන, එම අර්ථය ප්‍රති-නිර්මාණය කිරීමයි. අර්ථ කථකයා තමා ජීවත් වන වර්තමාන තත්ත්වයෙන්, එහි කොන්දේසිවලින් ඉවත් වී, කර්තෘවරයාගේ ලෝකය වෙත යාම මෙම විධි ක්‍රමයට අත්‍යවශ්‍යය.
යථෝක්ත ග්‍රන්ථය 153 හා 154 පිටු අර්ථකථනීය එළඹුමේ විවිධ ප්‍රභේද විවිධ දාර්ශනිකයන් විසින් යෝජනා කොට ඇතත්, යථෝක්ත උපුටා ගැනීම එම එළඹුමේ හරය අවබෝධ කරගැනීමෙහිලා අතිශයින්ම වැදගත්ය.
මීගස්කුඹුරගේ මා තෝරා ගත් ලිපි ලේඛනවල ක්‍රමවේදාත්මක විශිෂ්ටත්වය ලෙස මා දකින්නේ යථෝක්ත හඳුන්වා දුන් අර්ථකථනීය එළඹුම භාෂා සාහිත්‍ය අධ්‍යයනය සඳහා යොදා ගැනීමයි.
දැන් එසේ යොදා ගත් ආකාරය එක් එක් ලිපිය ගෙන බලමු.
 
මාර්ටින් වික්‍රමසිංහ ගැන ලිපිය
1973දී ප්‍රථමවරට පළවූ මෙම ලිපිය වික්‍රමසිංහගේ භාෂා රීතිය මුල් කොට ගනිමින් ලියැවුණද ඔහුගේ ලේඛන දිවියේ විවිධ යුග හා ඒ යුගයේ භාෂාව පිළිබඳ කතිකාවට ඔහු දායක වූ ආකාරයත් එම දායකත්වය සමකාලීන නිෂ්පාදනය කළ අර්ථවල ස්වරූපයත් ගැඹුරු ලෙස විග්‍රහ කරන්නකි. මුද්‍රිත පිටු 56ක් පුරා විහිදෙන මෙම ලිපිය කුමාරතුංග, රැ. තෙන්නකෝන් වැනි ලේඛකයන්ගේ භාෂා රීති හා ඔවුන් භාෂාව ගැන දැරූ මතද සලකා බලමින් වික්‍රමසිංහගේ අනන්‍යතාව ගැඹුරින් මතු කරන්නෙකි. ආරම්භයේදීම සිංහල භාෂාවේ සමානාර්ථයෙන් මෙන්ම සංදිග්ධාර්ථයෙන් යෙදෙන ශෛලිය, වහර, රීති යන වදන් මැනවින් අර්ථකථනය කරන මීගස්කුඹුර සාම්ප්‍රදායික ව්‍යාකරණය ඉක්මවා වික්‍රමසිංහගේ අගය මතු කිරීම සඳහා තම ගුරුවරයා වන ම.ව. සුගතපාලව කරළියට කැඳවන්නේ ඉතා සියුම් ආකාරයෙනි.
‘සුගතපාල ද සිල්වා මහතා විසින් දක්වා ඇති පරිදි ලේඛන රීති මෙන්ම භාෂාවට එකතු කරන ලද කියමන්ද වැදගත් වේ. මෙයින් අදහස් කෙරෙනුයේ ඒ ඒ ලේඛකයාට පොදු විශේෂ උක්තීන්ය.’ (පි.17 ඉහත ලිපිය.)
වාග් – තත්ව සමීක්ෂණය සඳහා ප්‍රමාණාත්මක දත්ත උපයුක්ත කොට ගැනීමේ වැදගත්කම ගැන පවසන ඔහු වික්‍රමසිංහගේ උක්තීත් සංඛ්‍යාත්මකව ගොනු කරයි. එය ඥාතිත්වය දක්වන්නේ ප්‍රත්‍යක්ෂමූලවාදී (Positivistic) ක්‍රමවේදයට වුවත් මීගස්කුඹුර එය ක්‍රමිකව අර්ථදීපනවේදී ක්‍රමවේදය වෙත යොමු කරයි. එහිදී වික්‍රමසිංහගේ ආරම්භක යුගයේ ඔහු මුහුණ දුන් සමාජ-ශාස්ත්‍රීය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ඔහු වික්‍රමසිංහගේ ලේඛන දිවිය යුගවලට බෙදීමට සාර්ථක උත්සාහයක නිරත වෙයි.
බලගල්ලේගේ අධ්‍යයනවල වැඩි බරක් තබා ඇත්තේ නිරුක්තිමය අර්ථ ජනනය හා ඊට සමානුරූපීව යුග බෙදීම වෙතය. කේඑන්ඕ ඉතා විස්තෘතව සමාජ වාග් විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳ ලියයි. බලගල්ලේ බොහෝ විට පුළුල්ව කියවා කරුණු රැස් කරතත් නිරුක්ති සම්පාදනයේදී හැරුණු විට විග්‍රහශීලී බව කෙරෙහි උනන්දුව දැක්වූ අවස්ථා විශාල නොවේ. මීගස්කුඹුර සෑමවිටම විග්‍රහාත්මක ප්‍රවේශයට මුල්තැන දෙයි. ඔහු කාලවකවානු බෙදමින්, වික්‍රමසිංහ, ඩබ්ලියු.ඒ. සිල්වා හා කුමාරතුංගගේ ශෛලි වර්ගීකරණය කරයි.
කුමාරතංගගේ භාෂා භාවිතය ඔහුගේ ආත්මීය සාධකයක් ලෙස නිර්වචනය කරන මීගස්කුඹුර එම ආත්මීය සාධකයේ මූල මණ්ඩල මෙසේ විදාරණය කරයි.
කුමාරතුංග අතින් නිර්මිත ඔහුගේ භාෂා-පෞරුෂත්වය නමැති ඉන්ද්‍රජාලිකයා කුමාරතුංග දපණයෙහි දැමීම අභාග්‍යයකි. ගෝලයන් නොමග යවනු ලදැයි සමහරු කියති. ඇත්ත වශයෙන්ම සිදුවූයේ නිර්මිත ඉන්ද්‍රජාලිකයා විසින් නියම ඉන්ද්‍රජාලිකයා මෙහෙයවනු ලැබීමයි.
(ඉහත ලිපිය පි. 34)
ශාස්ත්‍රීය ලේඛනය අලංකාරෝක්තිවලින් තොර ශුද්ධ ශාස්ත්‍රීය ශෛලියකින් ලිවිය යුතුයැයි ඇතැම්හු සිතති. එහෙත් නීට්ෂේ වැනි දාර්ශනිකයෝ ගැඹුරු ශාස්ත්‍රීය ඥානය සම්පාදනය කළේ උපමා, රූපක සපිරි කවි සමයක් තුළ රැඳෙමිනි. යථෝක්ත වැකි කීපයෙන් මීගස්කුඹුරද කරන්නේ නීට්ෂේ කළ දෙයමය. ශාස්ත්‍රීය බසින් වැකි සිය ගණනකින් කිව යුතු දෙයක් ඔහු රූපාකාර්ථවලින් මැනවින් විශද කරයි. ඔහුගේ එම ශෛලියම එක් අතකින් ඔහු සතු අර්ථකථනීය එළඹුම මෙන්ම ඔහුගේ නිසඟ කවිත්වයද මැනවින් පිළිබිඹු කරයි.
මෙහිදී අමතක නොකළයුත්තේ ඔහු තම විශිෂ්ට පර්යේෂණ ග්‍රන්ථයක් වන වැදි ජන පුරාණයේදී ආර්.එල්. ස්පිටල්ගේ විශිෂ්ට කවියක් සිංහලට පරිවර්තනය කළ බවත්, බොහෝ සිංහල කවි ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේදී ගනනාථ ඔබේසේකරට සහය වූ බවත්ය.
වික්‍රමසිංහගේ භාෂා රීතිය ගැන ලියන මීගස්කුඹුර කුමාරතුංග ග්‍රාමීය ව්‍යවහාරය අශිෂ්ට ලෙස ගැනීම පිළිබඳ සාකච්ඡා කරමින් මෙසේ කියයි.
භාෂාවේ ස්වභාවික ශබ්ද-පරිණාමය නිසා ඇතිවන වෙනස්කම් මිනිසුන්ගේ අශිෂ්ටකම විදහාපාන ලක්ෂණයක් නම් මුළු ලොවම අශිෂ්ටයන්ගෙන් පිරුණක් වෙයි. එවිට ශිෂ්ටත්වය ඊශ්වර නිර්මාණවාදයකින් හෝ ප්‍රාකෘතික තත්ත්වයකින් හෝ කෙළවර වෙයි.’ (පිට 37)
අර්ථකථනීය එළඹුමේදී හුදෙක් තෝරා ගත් භූමිකාවේ යථාව නිශ්චිතාකාරයෙන් ගෙනහැර දැක්වීම පමණක් ප්‍රමාණවත් නොවන බව දන්නා මීගස්කුඹුර තම විවේචනයද එම එළඹුම ඉදිරිපත් කිරීම් රාමුව තුළම ගොඩ නංවයි. වර්තමාන ආයතනික ශාස්ත්‍රීය ලිපිවල සාරාංශය, නිගමන ආදී ලෙස අතිශයින්ම යාන්ත්‍රිකව හා නිශ්චිතව බෙදා දක්වන දේවල් මීගස්කුඹුර ලිපියේ අන්තර්ගතය තුළ අදාළ ස්ථානයේම මැනවින් ගෙනහැර පායි. එහෙත් මීළඟ ඡේදයේදී ඔහු කරන්නේ එනිසා ඉදිරිපත් කළ විවේචනය පහරදීමක් ලෙස සංවර්ධනය කිරීම නොව තමාගේම තර්කයට පටහැනි විය හැකි විභවතා සහිත අදහස් ගෙනහැර පෑමයි. තමාව සනාථ වන කරුණු මතු නොව අනාථ වන කරුණුද විදහාපාමින් තර්ක ඉදිරිපත් කිරීමේ විශිෂ්ට ශාස්ත්‍රඥ සම්ප්‍රදාය මෙහිදී මීගස්කුඹුර මගින් සුපෝෂිත වෙයි.
යම් යුගයක විසූ ශාස්ත්‍රඥයකුගේ භාෂා රීතිය ඔහුගේ යුගයේ විසූ වෙනත් ශාස්ත්‍රවන්තයන්ගේ භාෂා කතිකා සමග බැඳී තිබෙන ආකාරයත්, ඒ ශාස්ත්‍රඥයන් ඔවුනොවුන්ට කළ විවේචන සමස්ත කතිකාවේ අර්ථභාරය නිර්මාණය කරන ආකාරයෙන් මීගස්කුඹුර තම ක්‍රමවේදය මගින් සාක්ෂාත් කරන්නා වූ වැදගත්ම කාරණයයි. වික්‍රමසිංහ ගැන සාකච්ඡා කිරීමට ගොස් කුමාරතුංගට ඉඟි කරන ඔහු ඉන් නොනැවතී රැ. තෙන්නකෝන්ටද ඉඟි කරමින් කුමාරතුංග හා තෙන්නකෝන් අතර පවතින භාෂා ශෛලියේ වෙනස්කම් පවා සංක්ෂිප්තව වැකි කීපයකට ගොනු කරයි. ඔහුගේ එක් වැකියක් මෙසේය.
‘මඳ මඳ සැකසුම් සහිතව ගැමිවහර බෙහෙවින් උපයෝගී කරගත් ලේඛකයෙකි. රැ. තෙන්නකෝන්.’ (පිට 37)
සාම්ප්‍රදායික උක්තරූපය වැකියේ අගට යෙදෙන මෙම වැකිය කුමාරතුංග තෙන්නකෝන් දෙදෙනාගේම වහර සිහි කරයි. මෙය වෙනත් මහාචාර්යවරයකු විසින් නම් ලියවෙන්නේ රැ. තෙන්නකෝන් යම් ආකාරයක සංස්කාරණයකින් යුක්තව ගැමි වහර විශාල වශයෙන් උපයෝගී කොට ගත් ලේඛකයෙක් වන්නේය යනුවෙනි. එහෙත් මීගස්කුඹුර හෙළ හවුලේම බස් වහර මඳක් සකසමින් එයට තම අනන්‍ය ලක්ෂණද මුසු කරමින් එමගින්ම තම අදහස් ප්‍රකාශ කරයි. මීගස්කුඹුරගේ ශෛලිය හා ඔහු සාකච්ඡා කරන විෂය ප්‍රදේශය අතර ඓන්ද්‍රීය ශක්තිමත් සබඳතාවක් පවතී.
ලේඛකයන් දෙදෙනකු පිළිබඳ සාකච්ඡා කරමින් දෙදෙනාගේම වෙනස්කම් මෙන්ම පොදු මූලයන්ද දැකීමට ඔහු සමත් වෙයි. ඔහු මෙසේ ලියයි.
බස් වහර, වාක්‍ය නිර්මාණ ක්‍රම ආදී රීති ලක්ෂණ සලකා බලන විට කුමාරතුංග හා මාර්ටින් වික්‍රමසිංහ එකම පදනමකින් පටන් ගෙන දෑතකට ගමන් කළෝය. බස් වහර හා වචන කෝෂය සැලකිල්ලෙන් තෝරා බේරා ගැනීමත්, වාක්‍ය නිර්මාණයේදී සැලකිය යුතු කරුණුත්, පද බෙදීම හා අක්ෂර වින්‍යාසය පිළිබඳ ගුරූපදේශත් ගැන ඉතා සැලකිලිමත් වන කුමාරතුංග ඒ පිළිබඳ මූලික ශික්ෂණයක් ලබාදෙයි. බහුලව ව්‍යවහාර වන විකල්පයන්ට තැනක් නොදෙන නිසා ඇතිවන අප ලක්ෂණ නිසා නොවේ නම් මෙවැනි ශික්ෂණයක් අතිශයින් වැදගත් වනු ඇත. ඒ අනුව වස්තු සන්දර්භ ආදී අභ්‍යන්තර ලක්ෂණ අනුව රීතියේ භින්න ලක්ෂණ ඇති කිරීම වික්‍රමසිංහ අපේක්ෂා කරයි. බස් වහර වාක්‍ය නිර්මාණය ආදියෙහිදී ප්‍රකට විකල්පයනට තැන දීම නිසා වික්‍රමසිංහගේ රීතියෙහි වාස්තවික වශයෙන් අප ලක්ෂණ අඩුවෙයි. රීතියෙහි භින්න ලක්ෂණවලට ඉඩදීම වර්තමාන සාහිත්‍යයේ සංකීර්ණ වූ වැඩීමට අත්‍යවශ්‍යය.’ (පිට 44 හා 45)
යම් යුගයක කතිකාවක පවතින සමතා, විෂමතා, අන්‍යොන්‍ය පරස්පරතා මෙසේ කුඩා වැකි කීපයකින් සංක්ෂිප්තව විශ්ලේෂණය වෙයි. මේ කොටසට පෙළඹෙන පාඨකයා ක්‍රමයෙන් එම කතිකාවේ සංකීර්ණ පැතිකඩ කෙරෙහි පැහැදිලි ආකල්පයක් ඇතිකර ගැනීම මිස එක් පාර්ශ්වයක් කෙරෙහි අන්තගාමී නැඹුරුවක් ඇතිකර නොගනියි.
 
තම ගුරුවරයෙකුගේ සේවය ශාස්ත්‍රීයව ඇගැයීම
ගුරු බැතිය අඳ බැතියක්ව පවතින ශාස්ත්‍රීය හා ආයතනික සන්දර්භයක මීගස්කුඹුර තම ගුරුවරයකු මෙන්ම විශිෂ්ට පඬිවරයකු වන හෙට්ටිආරච්චි පිළිබඳ ලිවීමේදී අඳ ගුරු බැතියේ ශාපයෙන් මිදෙමින් පළල් ශාස්ත්‍රීය සන්දර්භයක් තුළ තබා ඔහුව අගයයි. ලිපියේ මුල් පිටු කීපය තුළ ඔහු ව්‍යක්ත ලෙස හෙට්ටිආරච්චි ශාස්ත්‍රීය කටයුතුවල විශේෂයෙන් කෝෂකරණයට පිවිසි පරිසරය පිළිබඳ පැහැදිලි විස්තරයක් ලබාදෙයි. එය යම් අයකුගේ විෂයානුබද්ධ අර්ථ නිෂ්පාදනය අවබෝධ කරගැනීමේදී අතිශයින්ම වැදගත්ය. දිගු පිටු ගණනක් කරා විහිද නොයන මේ ලිපිය සංසන්දනාත්මකව ව්‍යාඛ්‍යාන සාහිත්‍යය, පිළිබඳ ඥානය මතු කරමින් හෙට්ටිආරච්චිගේ සංස්කරණය හා ව්‍යාඛ්‍යානමය අනන්‍යතා මතු කිරීමට සමත් වෙයි. පහත දැක්වෙන උපුටා ගැනීම් මෙහිදී වැදගත්ය.
‘ධම්පියා අටුවා ගැටපදය වැනි ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයක කෙළින්ම මූලාශ්‍රයේ ඇති වචනවලින් තද්භව වූ රූප මෙන්ම සමානාර්ථවත් වෙන වචනවලින් තද්භව වූ රූපයත්ද යෙදෙයි. උදාහරණ වශයෙන් පාලි වරිතුං කන්නට යි අරුත් දී ඇත. වරිතුං යන්නේ සාමාන්‍ය තේරුම ඇවිදින්නට යන්නයි. එහෙත් මෙහි කන්නටයි දී ඇත්තේ ප්‍රකරණාර්ථය පමණි. එය ගද්‍රභයකු සම්බන්ධයෙන් යොදන ලද වචනයකි. මෙවැනි අවස්ථා දත් හෙට්ටිආරච්චි වියතාණෝ බොහෝ විට වෙනත් සංස්කරණවල දක්වන වෙනස්කම් ඉවතලා අත් පිටපත් පාඨයනට මුල් තැනක් දෙති.’
(හෙට්ටිආරච්චි පිළිබඳ ලිපිය 39 පි.)
ග්‍රන්ථ සංස්කරණය හා ඒවාට ව්‍යාඛ්‍යාන ලිවීම බහුල වන්නේ ඕනෑම රටක මුද්‍රිත තාක්ෂණය ඇරඹී පෞරාණික මාධ්‍යවලින් පවතින ලේඛන මුද්‍රණයට පෙරළෙන සමයේය. මෙය ඉංග්‍රීසියෙන් Philology අවධිය ලෙස හඳුන්වා ඇති නූතන හා පුරාතන අවධි අතර අන්තර් අවධියකි. එහෙත් අතිශයින්ම වැදගත් අවධියකි. විවිධ සංස්කරණකරුවන්ගේ ප්‍රවේශවල විචිත්‍රතාව මෙබඳු යුගයක ශාස්ත්‍රීය ලෝකය තුළ විවිධ ක්‍රමවේදාත්මක සංකල්පීය රාමු නිර්මාණය කරයි. එම රාමුව තුළ හෙට්ටිආරච්චිගේ අනන්‍යතාව සංසන්දනාත්මකව හඳුනා ගැනීමට යත්න දරන මීගස්කුඹුර වඩාත් මුල් පෙළට සමීපවෙමින් සන්දර්භීය ලක්ෂණවලට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් වදන්වලට අරුත් සැපයීම ඔහුගේ විශේෂ ලක්ෂණයක් ලෙස හඳුනා ගනියි.
හිතුවක්කාර ලෙසත්, තර්කානුකූල නොවන ලෙසත් අර්ථ වෙනස් කිරීම සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණයේදී බොහෝ විට සිදුවූ අතර කුමාරතුංග මුනිදාස වැනි විශිෂ්ට පඬිවරුන් පවා මෙම චෝදනාවට ලක්වූ බව අමතක කළ නොහැකිය. එහෙත් මීගස්කුඹුර මෙහිදී තම ඇදුරු හෙට්ටිආරච්චිගේ සුවිශේෂ අනන්‍ය ව්‍යාඛ්‍යාන ප්‍රවේශ හඳුනා ගනියි.  
 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුද්ගල රීතියෙන් යුග රීතියක් වෙත – කුමාරතුංග භාෂා රීතිය
මේ ලිපිය ආරම්භයේදීම කුමාරතුංග ශ්‍රේෂ්ඨ වියතෙකු යන ජනප්‍රිය මතයත් රටට දැයට බසට ළැදි ක්‍රියාවක් ලෙස ඔහු අගය කිරීමට පිවිසෙන බවත් කියයි. එය ශාස්ත්‍රීය ක්‍රමවේදාත්මක ප්‍රවේශයකින් කියවන්නේ නම් මීගස්කුඹුර ජනප්‍රිය කතිකාවට නතුවීමකි. එහෙත් අර්ථකථනීය ක්‍රමවේදය විමසා බලන විට එයින් මීගස්කුඹුරව සෑහෙන ප්‍රමාණයක් නිදොස් කළ හැකි වන්නේ අදාළ සන්දර්භය හා අනන්‍ය වීම සඳහා එවැන්නක නිරත වූ බව පෙන්වා දෙමිනි. ‘ප්‍රවේශය’ ලෙසින් නම් කොට තිබෙන ආරම්භ ඡේදයේදීම කුමාරතුංගගේ සමස්ත ලේඛන සලකා බලමින් හුදු හෙළවහර ලෙස ජනප්‍රිය කුමාරතුංග වහර ඔහුගේ ජීවිතයේ කෙටි කාලයක් තුළ පැවති එකක් යන සැඟවී තිබෙන වැදගත් සත්‍යය විදාරණය කරයි. තමන් මීට පෙර කුමාරතුංග ගැන ලිව් ලිපිද සඳහන් කරමින් මීගස්කුඹුර අවධාරණය කරන්නේ, මෑත අවධියේ විවිධ නිකායනට අයත් රීති විචාරකයන්ගේ සහ භාෂා දර්ශනය ගැන ලියූවන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් තුළනාත්මක ආකල්පයකින් කුමාරතුංග රීතිය ගැන සලකා බැලිමට’ උත්සාහ දරන බවයි.
මේ අනුව මෙම ලිපිය කතුවරයා මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ ලියූ ලිපියේම දිගුවක් ලෙස සැලකිය හැකිය. ශාස්ත්‍රානුකූල උත්ප්‍රාසය වන්නේ කුමාරතුංග ගැන ලිවීමේ ප්‍රවේශය ලෙස මීගස්කුඹුර තෝරා ගත්තේ කුමාරතුංග අභාවය නිමිති කොටගෙන දිනමිණේ පළවූ උප කතුවැකියේ එන පහත වැකියයි. ‘වර්තමාන භාෂාව පැරණි වාග් විලාසය අනුව හැඩ ගැසීම සමහරු උපන් දියුණුවක් සේ සලකි. ඒ ගැන විනිශ්චය දැක්විය යුත්තේ අනාගත පරම්පරාවයි.’
මාර්ටින් වික්‍රමසිංහ ලියූවා යැයි සැලකෙන මෙම කතුවැකිය මීගස්කුඹුර යොදාගත්තේ කුමාරතුංග ප්‍රපංචය, කුමාරතුංග ලේඛන පෞරුෂය ආදී අර්ථකථනාත්මක සංකල්ප ගණනාවක් ඔස්සේ පළල් සන්දර්භයක් නිර්මාණය කරමිනි. ඇත්තෙන්ම මෙම පළල් සන්දර්භය කුමාරතුංග වටා සැබැවින්ම පැවති එකකි. එය තම ක්‍රමවේදී රාමුව තුළ නැවත නිර්මාණ කරගැනීමයි මීගස්කුඹුර මෙහිදී කරනුයේ.
තම ලිපිය කරුණු 5ක් මත ඉදිරිපත් කරන බව පවසන මීගස්කුඹුර එම කරුණු පහ සාරාංශ කරයි. එහි වැදගත්ම කරුණ වන්නේ භාෂාවේ ප්‍රාවර්තතික පද්ධතිය (Synethronic System) වෙත කුමාරතුංග දැක්වූ අවධානය කෙරෙහි ඔහු දක්වන සැලකිල්ලයි. නූතන වාග් විද්‍යාවේ පියා ලෙස සැලකෙන පර්දිනත් දි දි සොසුයෝර්ගේ ද මූලික අවධානය යොමුවූ මෙම මාර්ගයේ හරය වන්නේ භාෂාව සමකාලීන ප්‍රපංචයක් ලෙස අගය කිරීමයි.
ලිපියේ මීළඟ කොටසේදී කතුවරයා 18 සියවසේ පටන් සිංහල භාෂා පරිණාමය එහි රීති ජනනය සමග බැඳී ඇති ආකාරය විශිෂ්ටාකාරයෙන් ගෙනහැරපායි. සිරි ගුනසිංහ, අජිත් තිලකසේන ආදී ශාස්ත්‍රඥයන් වෙතද විහිදෙන එම කතාබහ බලගල්ලේ, කේඑන්ඕ වැනි ශාස්ත්‍රඥයත් දෙදෙනා ගමන් ගත් මාර්ගවල පවතින විශේෂතා සම්මිශ්‍රණය කරමින් නවතම මගක් සෑදීමකි. මාක්ස්වාදී න්‍යායයෙන් වදනක් ණයට ගෙන පවසන්නේ නම් මේ වනාහී ප්‍රවාදයක් නිර්මාණය කිරීමකි. මේ ප්‍රවාදය සමාජ වාග් විද්‍යාව, විග්‍රහාත්මක වාග් විද්‍යාව හා ඓතිහාසික වාග් විද්‍යාව යන විෂයන් තුන ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
හෙළ වදන් යෙදීම කුමාරතුංග අනුමත කළාද ඒ ඔහුගේ ජීවිතයෙන් සුළු කලක ඇතිවූ තත්ත්වයක් බව පෙන්වන කතුවරයා කුමාරතුංගගේ කෘතිවලින් විශාල ප්‍රාමණයක් සංස්කෘත භාෂාවේ ශෛලියෙන් යොදා ඇති බව පෙන්වා දෙයි. ඉන්පසුව කුමාරතුංගගේ ප්‍රබන්ධෝපදේශය, කවි ශික්ෂාව හා විරිත් වැකිය කෘති මුල් කොට ගනිමින් තම අදහස් ගෙනහැර පායි. 1973 තමා ලියූ මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ ලිපියෙන් අදාළ කොටස් උපුටා ගනිමින් කතුවරයා පෙන්වා දෙන්නේ තමා ඒ යුගයේ පෙන්වා දුන් අදහසම අදද සංවර්ධනය කරන බවයි.
මීළඟ වැදගත්ම ප්‍රවේශය වන්නේ කුමාරතුංග රීතිය, කුමාරතුංග ගමන් මග යනාදී ලෙසින් ඔහුගේ අනුගාමිකයන් ගෙන යන ජනප්‍රිය ව්‍යාපාරය තුළ ඇති ව්‍යාජය ලොවට හෙළිදරව් කරමින් කුමාරතුංග රීතියේ යථා තත්ත්වය ගෙනහැර පෑමයි. එහෙත් කතුවරයා එය මහා ශාස්ත්‍රීය කලබගෑනියක් ඇති නොවන ආකාරයෙන් එක් වැකියකින් මෙසේ ගොනු කරයි.
‘මෙසේ කුමාරතුංග රීතිය යැයි අනුකරණයට පාත්‍රවන සමහර ලක්ෂණ භාවිතය මගින් හුදු අනුකරණයක් කෙරෙනු මිස කෙනෙකු කුමාරතුංග කෙනෙකු නොවිය හැකියි. ශාස්ත්‍ර විෂයෙහි කුමාරතුංගයන් නිරතුරුවම කියා පෑ දෙයක් නම් ලේඛකයා ස්වාධීන විය යුතු බවය. සිත නිදහස්ව පවත්වාගෙන යා යුතු බවය.’ (එම ලිපිය 288 පිට.)
කතුවරයා තම ලිපියේ මීළඟ අනු මාතෘකාව ලෙස ගන්නේ ‘කුමාරතුංග අධ්‍යයනයට අදාළ භාෂාවේ විවිධ පැති’ යන්නයි. එහිදී කුමාරතුංගගේ දායකත්වය පිළිබඳ තම සමකාලීනයකු වූ සරච්චන්ද්‍ර වික්‍රමසූරිය ඉංග්‍රීසි බසින් ලියූ ලිපියක් සියුම්ව නිරීක්ෂණය කරමින් තම ප්‍රවාදය ගොඩනැගීම සඳහා යොදා ගනියි. ඉන්පසු කේඑන්ඕ ගේ දායකත්වයද අගය කරමින් තම ප්‍රවාදය සඳහා යොදා ගනියි. මීගස්කුඹුරගේ ක්‍රමවේදාත්මක විශිෂ්ටත්වයේ එක් චරිතාංගයක් වනුයේ මෙරට බොහෝ විද්වතුන් එක් චරිතාංගයක් වනුයේ මෙරට බොහෝ විද්වතුන් විසින් නොකරන තම සමකාලීනයන්ගේ පර්යේෂණ වෙත දක්වන ගෞරවයනීය ආකල්පයයි. ඒවා තම ප්‍රවාද සාක්ෂාත් කරගැනීමට අවැසි පරිදි මුසුකර ගැනීමයි. මේ අනුව කේඑන්ඕ, උදය ප්‍රශාන්ත මැද්දේගම, ආරිය රාජකරුණා, සරච්චන්ද්‍ර වික්‍රමසූරිය වැනි සමකාලීනයන් මීගස්කුඹුර විසින් ශාස්ත්‍රීය තලයේ ගෞරවනීය ස්ථානයකට උසුලා තබයි. මා සිතන්නේ මෙය අර්ථකථනවේදයේම අවයෝජනීය අංගයක් මෙන්ම තම සංකල්පීය රාමුව ගොඩනගන මෙම තෝරා ගැනීම මීගස්කුඹුරගේ මුදු, පිවිතුරු, දුලබ, විශිෂ්ට මිනිසත් බවේ එක් ප්‍රකාශයක් බවයි. මගේ ප්‍රකාශය තවදුරටත් අන්තගාමී සමීකරණයට ඌනනය කළහොත් ඒ වනාහී පේරාදෙණියේදී නොනට කොත්මලේ ගැමියාගේ උදාරත්වයයි.

ප්‍රතිවිරෝධතා හා සමතා
වියරණය, ප්‍රබන්ධකරණය හා කාව්‍ය නිර්මාණ යන ත්‍රිත්වය සම්බන්ධයෙන් බස ගොඩනගා ගැනීම හා භාවිත කිරීමේදී කුමාරතුංග මුහුණ පෑ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන මීගස්කුඹුර එහි පැවති ප්‍රතිවිරෝධතා හා සමතා මතු කරයි. එහිදී සොසියෝ හා විට්ගන්ස්ටයින් ඔස්සේ ප්‍රපංචවාදය වෙත පිවිසෙන කතුවරයා ප්‍රපංචවාදී භාෂා සංකථනය ගැන වැදගත් සාකච්ඡාවක් අරඹයි. ටී.එස්. එලියට්, ප්‍රොයිඞ් හා හයිඩෙගර් ආදීන්ගේ අදහස් පරිශීලනය කරමින් අර්ථවිනිශ්චය වේදය (අප මුලින් උයන්ගොඩගෙන් උපුටාගෙන දිගින් දිගටම ගෙන හැර පෑ අර්ථදීපනය අර්ථකථනීය එළඹුම යනුද මෙයමය.) උපයෝගී කොට ගනිමින් පෙරදිග ප්‍රාඥයකු වන හර්තෘහරි දක්වා සාකච්ඡාව පළල් තලයකට රැගෙන යයි.
මේ කොටස වෙනම පොතක් බවට හෝ වැදගත් පොතක පරිච්ඡේදයක් බවට පත්වීමට තිබූ කොටසකි. එය සංවර්ධනය නොකර මෙබඳු ලිපියක සිරගත කිරීම මීගස්කුඹුර තම ජීවිතයේදී සිදු කළ ශාස්ත්‍රීය වැරැද්දක් යැයි ශාස්ත්‍රලෝලියකු පවසතොත් එහි වරදක් නැතැයි යන්න මාගේ අදහසයි.
දර්ශනය සාහිත්‍ය විචාරයට මෙන්ම භාෂා විචාරයටද රැගෙන ඒම වර්තමානයේ මෙරට තුළ විහිළුකාරී ස්වරූපයක් ගෙන තිබෙන සන්දර්භයකදී මීගස්කුඹුර එය බැරෑරුම් තලයේ රඳවයි. එම න්‍යායයික ප්‍රතිපාදනය තමා අතින් දුරදිග යතැයි යන බියෙන් වහා කුමාරතුංග මාතෘකාව වෙත පලා එන මීගස්කුඹුර තම න්‍යායයික රාමුව තුළ කුමාරතුංගව මෙසේ රඳවයි.
‘සංස්කෘතික වූ සියලුම භාවිතයන් පසුපස භාෂාත්මක වූ ප්‍රඥප්තීන් ක්‍රියාත්මක වෙතියි යන විසිවන සියවසේ පෙරමුණට ආ මතයට බොහෝ සෙයින් ආසන්න මතයක් දැරුවෙකි. කුමාරතුංගයෝ. මේ කුමාරතුංගයන් සහජ ඥානයෙන් ලබාගත්තාද, විසිවැනි සියවසේ ආරම්භයේ පැවති අපරදිග දාර්ශනික මත ඇසුරින් ලබා ගත්තාද නැතහොත් පෙරදිග මහා භාෂා දාර්ශනික භතෘහරීන්ගේ මත විචක්ෂණව අවබෝධ කිරීමෙන් ලබාගත්තාද යන්න නිසැකව කීම අසීරුය.’ (පි. 294)
මෙසේ තමා හෙළිදරව් කරගත් යම් දෙයක් අත්ලට ගෙන එහි හාත්පස කුතුහලයෙන් නරඹන කුඩා දරුවකුගේ විමතියෙන් යුක්තව මීගස්කුඹුරගේ යථෝක්ත අදහස් කියවීමට ලක් කළ හැකිය. එයට පිළිතුරු දීමට තමා ද අපොහොසත් වන බැව් කීමට තරම් මීගස්කුඹුර අව්‍යාජ වෙයි. එහෙත් වැදගත් වන්නේ ඔහුගේ ක්‍රමවේදය තුළ කුමාරතුගගේ භාෂා රීතියේ පදනම වැටිය හැකි තෙමාවතක් පැහැදිලිව සටහන් කිරීමට ඔහු දක්වන විචක්ෂණශීලී භාවයයි.

Exit mobile version