බුදුන් දකිනු සේ සියක් බැතිමතුන් රොද බඳින දළදා මැදුරේ විත්තිය

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාළිඟාවය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නේ යැයි හැඟීමෙන් මෙහි පැමිණෙන බැතිමතුන් වැඩසිටින මාළිගය වෙත යන්නේ සැබැවින් බුදුන්වහන්සේ දකින්නට යන සෙයක් දක්වමිනි.

වන්දනා කිරීම පිණිස පැමිණෙන වන්දනාකරවෙකුට දළදා මාළිගය පරිශ්‍රයේ  ඉදිරිපස වාහල්කඩින් ඇතුළු වී පෙරහර සඳහා ඇතු සරසන ස්ථානය හරහා ඉහළට පැමිණිය යුතු වෙයි. එතැන් සිට මාළිගයේ විවිධ ස්ථාන පිළිබදව අවබෝධයකින් යා හැකි නම් එය තමන් ලබන අත්දැකීම සාර්ථක අත්දැකිමක් සේම අවබෝධයෙන් ලබන අත්දැකිමක් වන බව නිසැකය.  

දළදා ගේ


පෙර කල රාජරාජ මහාමාත්‍යාධින් වැඩිවශයෙන් ගැවසී ඇත්තේ රාජ මාළිගය පෙදෙසෙහිය.එය ඇත්තේ මාළිගයේ වම් පසෙහිය. දකුණත වූ  මෙම දළදා මාළිගය කොටස හදුන්වා ඇත්තේ , දළදා ගේ ලෙසය. ඒ දළදා හිමියන් වැඩසිටින හෙයිනි. රාජකීය ගොඩනැගිලි එකිනෙක බද්ධ වන්නට පසුකාලීනව මෙය දළදා මාළිගය ලෙස නම් කොට ඇති බැව් පත පොතෙහි සදහන් වෙයි. 

ලන්දේසි ජාතික චිත්‍ර ශිල්පියෙකු 1765 දී අදින ලද චිත්‍ර යෙන් සනාථ වන පරිදි ක්‍රි.ව 1592 – 1603 කාලයේ පළමුවන විමලධර්මසූරිය රජු විසින් දෙමහල් පහයක් ලෙස මාළිඟය සකසා ඇත. අනතුරුව දෙවන විමලධර්මසූරිය රජු 1687 –  1707 කාලයේදී  දන්ත ධාතූන්වහන්සේ  තැන්පත් කිරීම සදහා තුන්මහල් ප්‍රාසාදයක් තනා ඇත. 1707 -1739 කාලයේදී ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ඉදිරිපස දෙමහල් ගොඩනැගිල්ල අලංකාර වහලයක්ද සහිතව ඉදිකර ඇත. ජනකතා වර්ණවත් සිතුවමින් හැඩගන්වා ඇත්තේද නරේන්ද්‍රසිංහ රජ දවස බවට චූලවංශයේ සදහන් වෙයි. 

අඹරාව

ගලින් නෙලූ මකර තොරන අභියසින් සඳගල වෙත පැමිණෙන බැතිමතෙකුට ඉදිරියෙන් දිස්වන බිම්ගෙයක් වැනි කොටසට ප්‍රවිශ්ඨ විය යුතු වෙයි. එය අඹරාව ලෙස නම්කොට ඇත. අතීත රජ දවස අඹරාව දෙපස මුර හේවායින් යොදවා දළදාව වෙත දැඩි ආරක්ෂාවක් සලසා ඇත. දිගින් අඩි 29 අගල් 8 ක් සහ පළලින් අඩි 8 ක් වන අඹරාව කොටසේ විචිත්‍රවත් චිත්‍ර සමූහයක් දක්නා ලැබේ. දළදාව මුරකල මුර හේවායින් එකල අඹරාවෙහි සිතුවම් අදින්නට ඇතැයි සැලකේ. 

හේවිසි මණ්ඩපය

අඹරා වෙන් ඇතුළුවත්ම හේවිසි මණ්ඩපය ඇත. හේවිසි මණ්ඩපය ඇත්තේ දිග ශාලාවක් වැනි දිග්ගේ තුළය. අඩි 118ක් දිගින් හා අඩි 40 ක් පළලින් යුතු දිග්ගේ ගල් කණු විස්සක් ඇත. රජ දවස ද මෙම දිග්ගේ කොටසෙහි සිට ඇත්තේ පංචතූර්ය වාදකයින්ය. පණික්කිරාළලාය. ඔවුන් රජු වෙනුවෙන් කරන සේවාව හේවිසි වාදනයය. මේ හේවිසි පරපුර අදටත් තේවා මුරයන්හිදි හේවිසි නාද පුද පුජාව පවත්වනු දක්නා ලැබෙයි. 

පාත මාලය

හේවිසි මණ්ඩපයේ සිට ඉදිරියට ඇත් දල හතරක් ඇති කැටයම් සහිත රිදී දොරක් ඇත්තේ දළදා හිමියන් වැඩ හිටින මාලිගාවේ පාතමාලය ටය. පාතමාලයෙන් උතුරට දකුණට දොර දෙකක් විවෘත වේ .උතුරට පැරණි දිග්ගේය. එහි වටිනා කෞතුක භාණ්ඩ තැන්පත් කිරීම එදා සිටම දක්නා ලැබේ. දකුණට මහඅරමුදල නැමැති කොටසය. එදවස රජු ඇතුළු ප්‍රභූවරුන් දළදා හිමිට පූජා කරන ලද භාණ්ඩ පිරිකර තැන්පත් කරනුයේ මහඅරමුදල නම් කොටසෙහිය. මෙම පාතමාලයෙන් උඩමාලයට ඇතුළුවීමට අවසර ඇත්තේ භික්ෂූන් වහන්සේලාටත් බුදුපුද සකසන සේවකාරාධින්ටත් පමණි. 

හදුන්කුඩම

පාතමාලයෙන් ලී පියගැටපෙලින් පිවිසෙන්නේ උඩමාලයේ හදුන්කුඩමටයි. එතැන දළදා හිමි වැඩසිටින ගන්ධ කුටියද පිරිත් මණ්ඩපයද දිස්වේ. හදුන්කුඩමට වම්පසින් ඇත්තේ ගෙපලුම් බරාදයයි. එහි කවිකාර මඩුවේ භාණ්ඩ තැන්පත් කර ඇත. දකුණු පසින් ඇත්තේ කත්තියන බරාදයයි. දාන පාත්‍රා හා ගිලන්පස ගෙනැවිත් තබනුයේ මෙම බරාදයේය.ගන්ධ කුටියට පසුපසින් ඇත්තේ සළු බරාදයයි. රජු දළදා හිමි වැද පුදා ගැනීමට පැමිණෙන අවස්ථාවේ අතිරේක රෙදි පිලි උනා තබා එන්නේ සළු බරාදයේය. 

ගන්ධ කුටිය

ගන්ධ කුටිය යනු දළදා හිමියන් වැඩසිටින කුටියය. ගන්ධ යනු සුවඳය . සුවද කුටිය ලෙස බුදුන් දවස සිට නම් කරන්නේ සුවදින් පිරි බැතියෙන් පුදන ලද යන්න හගවන කුටියක් බවය. ජපානයෙන් පරිත්‍යාග කරන ලද වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුල රිදියෙන් නිමවා රන් ආලේපිත මිණිමුතුයෙන් අලංකෘත විශාල කරඩුවක් ඇත. මහා කරඩුවතුල තවත් කරඩු හයක් ඇත. මෙම කරඩු විවෘත කල හැක්කේ, මල්වතු අස්ගිරි උභය මහවිහාරයිය නායක හිමිවරු දෙපලත් දියවඩන නිලමේවරයාත් යන තිදෙනාම ඇති විට පමණි.

උඩ දිග්ගේ

ගන්ධ කුටියෙන් ඉදිරිපස කොටස උඩදිග්ගේය. වන්දනාකරුවන් රැදීසිට වන්දනා මාන සිදුකරන්නේ මෙම කොටසේය. 

දකුණු පියගැටපෙල ඇත්තේ පාත්‍රධාතු නිදන් කොට ඇති චෛත්‍ය යය. 

වම්පස පියගැටපෙලින් පහල පල්ලේමාලේ ප්‍රතිමා ගෘහයත් පත්තිරිප්පුවටෙත් පළිගු පිළිම වහන්සේ අසලටත් යා හැකිය. පියගැට පෙළ ඉදිරියේ ඇති පළිඟු පිලිම වහන්සේ තුළ වූ මංජුසාවේ බහා එදවස දෙල්ගමු විහාරයේ සිට දළදා හිමි වැඩම කළ  බව කියැවේ. 

පල්ලේමාලයේ ප්‍රතිමාගෘහය කිර්ති ශ්‍රි රාජසිංහ රජු කරවූවකි. මෙහි සිවිලිමෙහි විෂ්ණු දේව රූපය කිර්ති ශ්‍රි රාජසිංහ රූපය වැලිවිට සරණංකර සංඝරාජ හිමිගේ රූපය සහ රත්නමාලි යන්ත්‍රරාජයා සිතුවම් කොට ඇත. පල්ලෙමාල රාළ සහ තේවා කටයුතු උදෙසා හිමි නමක්ද මෙහි කටයුතු භාරව ඇත. 

පත්තිරිප්පුව

අශ්ඨාශ්‍රය හෙවත් පත්තිරිප්පුවට පිවිසෙන්නේද පල්ලෙමාලයේ මධ්‍යෙය් සිටය. දේවේන්ද්‍ර මූලාචාර්යයගේ නිර්මාණයක් වන පත්තිරිප්පුව රජ දවස රජුගේ විවේකස්ථානයයි. අනතුරුව එය මහනුවර කච්චේරිය ලෙසද ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ භාවිත විය. අනතුරුව අගනා පුස්කොල පොත් සහිත ප්‍රාචීන පුස්තකාලය ලෙස භාවිත විය. පාත්වෙලා ඉන්න තැන යන අරුතින් දෙමළ වචනයෙන් පාත්ත ඉරිප්පු පත්තිරිප්පු ලෙස පටබැදුනු බැව් කියැවේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අන්දමට දළදා මාළිගයේ ප්‍රධාන කොටස අවබෝධයෙන් දැක වැද පුදා ගැනීමට වන්දනා කරුවන්ට ඉඩ සැලසෙනු ඇත.

Exit mobile version