පනස් වසරක් පෙරහරේ පෙළහර පෑ පුරාවෘත බඳු මිනිස්සු

????????????????????????????????????

උපේක්ෂා උඩුවැරැල්ල-

ජීවිතය දිනෙන් දින වියපත්ව යන මුත් කලාව කිසිදා වියපත් නොවේ. එය සැබෑවක් ලෙස දැකීම පිණිස අවස්ථාව සලසා දී තිබුයේ, ශ්‍රී ලාංකේය පාරම්පරික නර්තන ශිල්පී පීටර් සූරසේන ගේ පුත් සුසන්ත සූ‌රසේනය.

එදා මෙදා තුර කන්ද උඩරට නර්තන වාදන ශිල්පීන් ලොව පතල වූයේ , මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය හෙවත් දළදා සමිඳුන් උදෙසා පූජෝපහාරයක් ලෙස පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ පංච තූර්යය වාදනයෙන් සහ නර්තනයෙන්ය. පනස් වසරකට වැඩි කාලයක් තිස්සේ , ඇසළ පෙරහර මංගල්‍යය හැඩ කරමින්, නර්තන විලාසයන් දැක්වු වයෝවෘද්ධ නර්තන ශිල්පීන් සියල්ලෝම පීටර් සූරසේන එළිමහන් රංගපීඨයේ දී නර්තනයන් දැක්වූයේ අතීත අභිමානය යළිත් සිහිපත් කරමිනි.

පීටර් සූරසේන

වයස අසූ දෙකක් වන පීටර් සූරසේන නර්තන ශිල්පියාත්, වයස අසූ අටක් වන ධර්මසිරි හපුගොඩත් ඇතුළු පිරිස තවදුරටත් හැඩවැඩ එක් කරමින් උඩරට වන්නම් කරනම් සහිත නර්තනවිලාසයන් පාමින් අදටත් උඩරට නර්තනය සුරැකිව ඇති බව විදහා දැක්වූහ.


එම අවස්ථාවේ දී තිත්තපජ්ජල නර්තන පරම්පරාව නියෝජනය කරමින් ටී.වයි ප්‍රේමචන්ද්‍ර සහ සුමනවීර නර්තන ශිල්පීන්ද , එරමුදුගොල්ල නර්තන පරම්පරාව නියෝජනය කරමින්, අයි ජී සිරිසෝම සහ ප්‍රේමදාස ගොහාගොඩ නර්තන ශිල්පීන් ද, උඩුවෙල නර්තන පරම්පරාව නියෝජනය කරමින් ඕ .පී කරුණාදාස නර්තන ශිලපියාද , මොලගොඩ නර්තන පරම්පරාව නියෝජනය කරමින් බී ජී ජේමිස් මොලගොඩ නර්තන ශිල්පියාද , යකාවල නර්තන පරම්පරාව නියෝජනය කරමින් විමලසිරි පිහිල්ලදෙණිය ශිල්පියාද මාතලේ කොටඹේ නර්තන පරම්පරාව නියෝජනය කරමින් ඊ.එම් ජී සිරිපාල නර්තන ශිල්පියාද සිය පාරම්පරික කුසලතා රග දැක්වූයේ දළදා පෙරහරේ අභිමානය එදා  මෙන්ම අදටත් ලොවට කියා පෑමේ හැකියාව ඇතැයි කියන්නා සේය.

ආරියදාස ඉහළවෙල
පීටර් සූරසේන

සුසන්ත සූරසේන සහ ජානක සූරසේන යනු පීටර් සූරසේන නර්තන ශිල්පියාගේ පුතුන් දෙදෙනාය. ඔවුනට අවශ්‍යව ඇත්තේ අතීත කලාව වියැකී නොදී ඉදිරියට පවත්වා‌ගෙන යාමත්, පැරණි කලා ශිල්පීන් ජාතික කලා වස්තූන් ලෙස නම් තබා ආරක්ෂා කිරීමත්ය. එබැවිනි මෙම කලා ශිල්පීන් සිය කලාගාරය වෙත ගෙන්වා යළි නර්තන පෙලහර පාන්නට අවස්ථාව උදාකරලූයේ. ඒ පිළිබදව ඔවුහු  මෙසේ කියති.

“  අපි විසින්ම පීටර් සූරසේන රංග පීඨයක් ඇති කලේ පාරම්පරික නර්තනයෙ තිබෙන විශිෂ්ඨත්වය ආරක්ෂා කරිම පිණිසයි. ඉදිරියේදී උඩරට නර්තනයේදි භාවිත කල ඇදුම් ආයිත්තම් ආදියත් පංචතුර්යය භාණ්ඩත් නවීන තාක්ෂණයට හා නවීන විලාසිතාවන්ට අනුගතව සමාජගත වීමට ඉඩ තිබෙනවා. එබැවින් අපි මේ පැරණි කලාව සුරක්ෂිතව තබන්නට පීටර් සූරසේන කෞතුකාගාරයක් ඇති කිරීමේ අපේක්ෂාවක් ද තිබෙනවා. අද මේ නටන පැරණි ශිල්පීන් නැති වු දවසක ඒ කලාව එපරිද්දෙන් ඉදිරියට ගෙන යන්න පාරම්පරික ශිල්පීන් අද නැහැ. ඒ නිසාම අපි ඒ සඳහා වැඩපිළිවෙළක් ඇති කළයුතුයි. එය අපේ යුතුකමක් වගකීමක්. ඒ කාලේ ශිල්පියෙක් සිය දක්ෂතා ඔප් නංවා ගන්නේ ඇසළ පෙරහර මංගල්‍යයේ දින දහයක් පුරා නර්තනයේ යෙදිලා. තමන්ට වැඩි දක්ෂතා ඇති ශිල්පීන්ගෙන් කුසලතා දැකලා. අහලා. අද ඒවැනි තත්ත්වයක් නැහැ. නමුත් අපි අපේ කලා ශිල්ප වලපල්ලට යනතුරු බලා සිටිය යුතු නැහැ. “

“අනෙක මේසා විශාල කාර්යය භාරයක් රටට දැයට සිදු කළ අදටත් කංකාරි ශාන්ති කර්ම බලි ‌තොවිල් යාග ආදිය සුරක්ෂිත ව පවත්වාගෙන යන මේ පැරණි ශිල්පීන් වරින් වර අගය කරමින් දිරිමත් කරන වැඩපිළිවෙලක් රජය විසින් කළයුතුයි. රජයෙන් ඒවැන්නක් සිදු නොවන නිසා මාත් මගේ සහෝදරයත් කලින් කලට මේ ශිල්පීන් අපේ කලාගාරයට කැඳවා මෙලෙස අගය කිරීමක් සිදු කරනවා. ඒයින් මේ ශිල්පීන් අපමණ සතුටට පත් වෙනවා. ඒ සතුට ඔවුන්ගේ දැස්වලින් පෙනෙන විට අපි අපේ යුතුකම් ඉටුකරන වග අපිටත් හැගී යනවා. විය යුත්තේ ඒයයි. ”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටට දැයට සමයට වගකීම් ඉටුකරන්නට නූතන පරපුරට සිහිගැන්විය යුතු සමයෙක මෙවන් කර්තව්‍යයක් සිදුවීම සැබැවින්ම උඩරට කලාව උදෙසා ම සිදු කරනු ලබන ‌ගෞරවයක් වග යළිත් සිහිකරමු.

 

Exit mobile version