කූරගල දී සාධුකාර දෙන්නට පෙර ටිකක් නැවතී බලන්න.  

අද මැදින් පොහොය දිනය ය.

දශක කීපයක් මුස්ලිම් ආගමික බලපෑමට නතුව තිබුණු කූරගල පුදබිම මුදාගෙන අද සිට බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට සිත්සේ විවර කරන බවට දැන් නිවේදනය වී ඇත. මුස්ලිම් ග්‍රහණයෙන් මුදවාගත් කූරගල පුදබිම මේ වනවිට ඇත්තේ නෙල්ලිගල අපේ ලොකු හාමුදුරුවන් වන පූජ්‍ය පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ ගේ භාරයේය. උන්වහන්සේ ගේ මූලිකත්වයෙන් අද අපරභාගයේ කූරගල පුදබිමෙහි මහා දාගැබක් ඉදිකිරීමට මුල් ගල තැබිණි.
දාගැබ  ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑය‘ ය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට අනුව ඔහු ගෙන ඇත්තේ ජාතියක් ලෙස ගත යුතු ප්‍රවේශයකි. මහා හඬින් සාධුකාර දෙන්නට පෙර මේ සටහන කියවන්නට අප ඔබට ආරාධනා කරන්නේ මතුපිටින් පෙනන දැකුමට වඩා මේ සිදුවීම් මාලාවේ ඇති ගැඹුර පුරවැසියන් ලෙස අප විසින් අවබෝධ කරගත යුතු බැවිනි.
මෙතැන් සිට තබන සටහන අප විසින් තබන්නක් නොවේ.  පුරාවිද්‍යා නිල පර්යේෂණ නිලධාරියෙක් ලෙස කූරගල ආශ්‍රිතව ශාස්ත්‍රීය පර්යේෂණ ගණනාවකට සහභාගී වූ  සීතාවක, අවිස්සාවේල්ල ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරීවරයාය . මෙසේ උපුටා දක්වන්නේ ඔහු විසින් ශාස්ත්‍රීය අධ්‍යයනයකින් සම්පාදනය කර පසුගිය සැප්තැම්බර් 17 දා දිනමිණ ශාස්ත්‍රීය අතිරේකයට සම්පාදනය කළ ලිපියක සංස්කරණය කළ සංක්ෂිප්තය ය.

කූරගල ආරණ්‍යය

ශ්‍රී ලංකාවේ පැරැණි ලෙන් ආරාම සංකීර්ණ ලෙසින් සැලකෙන මිහින්තලය, වෙස්සගිරිය, රිටිගල, දිඹුලාගල, සිතුල්පව්ව, වැනි ආරණ්‍ය සේනාසනවලට සමකාලීන බවක් පෙන්නුම් කරන කූරගල, එම වකවානුවේ බෞද්ධ සෙනසුනක් ලෙසින් හඳුනාගත හැකිය (බිනරගම 2013:203-219).
අතීතයේ දී පුරාණ මාගම රාජධානියට මේ ප්‍රදේශය අයත්ව තිබූ බව අනුමාන කළ හැකිය. ඒ අනුව ඓතිහාසික යුගයේ දී කූරගල මාගම රාජධානියේ සිට වලවේ ගඟ ඉහළ සීමාව දක්වා රට අභ්‍යන්තරයට බෞද්ධ සංස්කෘතිය හා බැඳෙමින් ව්‍යාප්ත වූ, ජනපද නිර්මාණයේ දී බිහි වූ, තවත් එක් ආර්ය ජනාවාසයක් සහිත පූජනීය ස්ථානයකි.


භාවනානුයෝගී භික්ෂුන් වැඩ වාසය කළ වන සෙනසුනක්

අතීතයේ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට සුදුසු පරිසරයකින් යුක්ත මේ ආරණ්‍ය සේනාසනය සහිත කලාපයේ, කටාරම් කෙටූ පූර්ව බ්‍රහ්මී ලිපිවලින් සමන්විත ලෙන් ආරාම සාධක හමුවේ. මේ කලාපයට තදාසන්න සීමාවේ ගල්ටැම්යාය, බුදුගල, ඇඳගල, දියවින්න ආදී ක්‍රිස්තු පූර්ව 2වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 10වැනි සියවස්වලට අයත්වන ආගමික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ස්ථාන රාශියක් පිහිටා ඇත (ඇරගම 2017).

පවත්නා සාධක අනුව  ක්‍රි. පූ. 2- 1 සියවස්වල සිට ක්‍රි. ව. 10- 11 සියවස් පමණ වන තෙක්   කූරගල ආරණ්‍ය සේනාසනය ආගමික වශයෙන් මනාව සංවර්ධනයව පැවැති පුද බිමකි. ඓතිහාසිකත්වයේ කරුණු සැලකිල්ලට ගෙන සී. ඊ. ගොඩකුඹුර ස්ථානය පරීක්ෂා කර බලා, 1971 අගෝස්තු මස 11 වැනි දින ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට මෙය නම්කර තිබේ.

බෞද්ධ පුදබිමට එහා ගිය ඉතිහාසය

කූරගල පිළිබඳ බොහෝදෙනා දැන සිටි ක්‍රිස්තු පූර්ව දෙවැනි හා පළමු සියවස්වල දී ආරම්භ වූ බෞද්ධ ආගමික නටබුන්හි ඉතිහාසය ගැනය. මේ භූමියේ ඉතිහාසය වෙනස් කරමින් ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස සාධක පිළිබඳ කරුණු අනාවරණය වීමට පටන් ගන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත් වීමෙන්, වර්ෂ 2013 දී ස්ථානය ආශ්‍රිතව සිදු කරන ලද හදිසි කැණීම් මඟිනි.

2013 වර්ෂයේ කූරගල රක්ෂිතයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ඉතාමත්ම වැදගත් කරුණු රැසක් හෙළිදරවු කර ගැනීමට හැකි විය. ඒ අනුව කූරගල සිදු කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාන්විතයේ දී මාස 08 ක කාලයක් පස් ස්ථර 49කට ආසන්න සංඛ්‍යාවක් සියුම්ව අධ්‍යයනය කරමින්, ප්‍රධාන ජනාවාස වෙනස් වීම් අවධි 07ක් ඔස්සේ පිහිටි පොළොව දක්වාම කැණීමක් සිදුවිය. කැණීමේ උස දළ වශයෙන් මීටර් 03කි.

කැණීමේ දී හමුවූ ප්‍රාග් ඓතිහාසික මානවයා පරිභෝජනය කළ සත්වයන්ගේ අස්ථි කොටස්

නිශ්චිත දින වකවානූ ලබා ගැනීම සඳහා සමස්ත කැණීම් භූමියම ආවරණය වන පරිදි අඟුරු නියදි ස්ථර 06කින් ලබා ගන්නා ලදී. වෙනත් කාබනික ද්‍රව්‍යයද අවශ්‍යතාව මත පර්යේෂණවලට බඳුන් විය. කූරගල පිළිබඳ නිවැරැදි හා නිශ්චිතම පර්යේෂණ දිනවකවානු ලබා දීමට අමෙරිකාවේ බීටා ඇනලිටික් ආයතනය ක්‍රියා කළේය. ඒ දත්ත අනුව අදින් වසර 16000 සීමාවේ, එනම් අවසන් ප්ලයිස්ටෝසීන යුගයේ සිට අදින් වසර 6000 සීමාවේ වත්මන් මධ්‍ය හොලෝසීන යුගය දක්වා කාල පරාසයකට අයත් ජනාවාසකරණයක් මේ ස්ථානයේ පැවැති බවට තහවුරු විය. මධ්‍යශිලා යුගයේ නවීන මානවයා නවාතැන් ගත් තවත් නැවතුම් පොළක් ලෙස, කූරගල හඳුනා ගත්තේය.

වියළි හා තෙත් යන කලාප දෙකෙහි අතරමැදි සංකලන පරිසරයක් වූ සංක්‍රාන්තික කලාපයක (Intermediate zone) සිදු වූ පළමු ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම මෙය විය. සංචාරක මානවයෙක් ලෙසින් වාර්තාගත අයුරින් වලවේ ගං නිම්නය ඔස්සේ කිලෝ මීටර් 80කට ආසන්න දුර ගෙවා, මුහුදුකරය හා දැඩි සබඳතා පැවැත්වීමට කූරගල විසූ මානවයා කටයුතු කර තිබිණි.

කැණීමේ දී හමුවූ විශේෂ සාධක

ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කළ ක්ෂුද්‍ර ශිලා මෙවලම්, පබළු හා බෙල්ලන්ගේ කවච

විකාශය බෙදා ගනිමින්, ස්ථානය මත අඛණ්ඩ ජනාවාසකරණයක් සිදුව ඇති බව, දැනට සොයාගෙන ඇති කරුණු මඟින් හෙළිදරවු විය. මීට අමතරව විලාසිතාකරණය පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉතිරි කරමින්, කරදිය හා මිරිදිය බෙල්ලන් 80කට ආසන්න ප්‍රමාණයකින් නිර්මාණය කර ගන්නා ලද පබළු අනාවරණය විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රාග් ඓතිහාසික කැණීමකින් ස්වභාවික මිනිරන් ඛනිජයක් (graphite) උපයෝගී කරගෙන සකස් කළ පබළුවක් හමු විය. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීමකින් අභිචාර හා ආදාහන ක්‍රම භාවිතයෙන් මළවුන් ඇදහූ බවට කළලයක අයුරින් මිහිදන් කර තිබූ සම්පූර්ණ අස්ථි සැකිල්ලක් හමු වීමෙන් තහවුරු විය.

තවද දැනට ශ්‍රී ලංකාවෙන් වඳව ගිය සත්ත්ව විශේෂ කීපයක ශේෂ කොටස් හමු වීම, හුදෙකලා ප්‍රාග් මානව ජනාවාසයක් ලෙසින් නොව, ජනාවාස සංකීර්ණයක් ලෙසින් ක්‍රියාකර තිබූ බවට ප්‍රධාන ලෙන අවටින් ලෙන් ජනාවාස කීපයක් හා එළිමහන් ජනාවාස රැසක් හමු වීම, විවිධ ස්වාභාවික ඛනිජවලින් (ocher) උරච්චි කර ලබා ගත් වර්ණ විලාසිතා හා වෙනත් අභිචාර ක්‍රමෝපාය සඳහා යොදාගෙන තිබීම, වෙනත් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානවලින් හමුවන ජ්‍යාමිතික ස්වරූපී ශිලා මෙවලම් ප්‍රමාණය වැඩි වීම, අනෙකුත් ප්‍රාග් ඓතිහාසික ස්ථානවල මෙන්ම ගින්දර භාවිත කළ බවට (Fire Place) පැහැදිලි සාධක හමුවීම මේ කැණීමේ දී අනාවරණය වූ වැදගත් සාධක වූයේය.

නවීන මානවයාගේ මුතුන් මිත්තන් හමුවීම

කූරගලින් හෝමෝ සේපියන් සේපියන් මානවයාට කලින් ජීවත් වූ හෝමෝ සේපියන් (Homo Sapiens man)   මානව සැකිල්ලක් හමුවුණේය. කැණීම් පරිශ්‍රයේ අංක 08 ස්ථරයේ මධ්‍යයට වන්නට පොළොව මට්ටමින් සෙන්ටි මීටර් 90 කට ආසන්න ගැඹුරකිනි. හිස ඊසාන දෙසට වන්නට යොමා අභිචාර ක්‍රමෝපාය සිදුකර මෙම දේහය මිහිදන් කර තිබුණු බව පැහැදිළි විය. අදින් වසර 7000 – 8000 අතර නිශ්චිත දින වකවානු ලැබී ඇති මේ පස් තැම්පතුව, අස්ථි සැකිල්ල සමඟ ස්ථානයෙන් ඉවත් කර, ක්‍ෂුද්‍ර කැණීම් (micro excavation) යටතේ පරීක්ෂණයට බඳුන් විය.

කැණීමේ දී හමුවූ හෝමෝ සේපියන් මානව සැකිල්ල

මේ සැකිල්ල පිළිබඳ ඉදිරි පර්යේෂණ සියල්ලක්ම මේ වනවිට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මඟින් සිදු කර තිබේ. අස්ථි සැකිල්ලට අදාළ ඩී. එන්. ඒ පර්යේෂණද ආරම්භ කර තිබේ. මීට අමතරව මානව අස්ථි හා සත්ත්ව අස්ථී මෙන්ම, ශිලා මෙවලම් ආශ්‍රයෙන් කරන ශේෂ ද්‍රව්‍ය විශ්ලේෂණ යටතේ (residue analysis) රුධිර ශේෂ විශ්ලේෂණ (blood residue), මාංශජනක ශේෂ විශ්ලේෂණ (protein residue), කාබනික ශේෂ විශ්ලේෂණ (organic residue), ක්‍ෂුද්‍ර ද්‍රව්‍ය ශේෂ විශ්ලේෂණ (microwear and residue analysis) සිදුකරමින් පවතී. සත්ත්ව විශ්ලේෂණ, (faunal analysis) ශාක විශ්ලේෂණ, (floral analysis ) පස් සහ රසායන ද්‍රව්‍ය විශ්ලේෂණ, (soil & chemical analysis) පරාග හා ඩයටම විශ්ලේෂණ, (diatom & pollen analysis) ශිලා මෙවලම් විශ්ලේෂණ සමඟ ස්තර න්‍යාස මූලධර්ම යටතේ පර්යේෂණ සිදුවේ.

විශ්වීය වැදගත්කම

ශිලා මෙවලම්…

කූරගල කැණීම් කර අනාවරණය කර ගන්නා ලද විද්‍යාත්මක දත්ත අනුව, මෑත ඉදිකිරීම්, මෑත අවධියේ ඉදි කිරීම් සමඟ ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක මිශ්‍ර වූ අවධිය, අවුල් සහගත තැම්පතු, හොලෝසීන මැදභාගයේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස අවධිය, මුල් හොලෝසීනයේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස අවධිය, පර්යන්ත ප්ලයිස්ටෝසීනයේ හා මුල් හොලෝසීනයේ ජනාවාස අවධිය, අවසන් ග්ලැසියර් සමයෙන් පසු ජනාවාස අවධිය, මුල්ම ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස තැම්පතු අවධිය, පිහිටි ගල, ලෙසින් නිශ්චිත නිරපේක්ෂ කාල නිර්ණ දින වකවානු සහිතව අවධි බෙදීමකින් යුතු විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දී ඇත.

නවීන මානවයා වූ හෝමෝ සේපියන් සේපියන් මානවයා හා ඔවුන්ට පෙර විසූ පූර්වජයන්ගේ නියෝජනයක් පෙන්වන කූරගල ප්‍රාග් ඓතිහාසික ජනාවාස භූමිය, දකුණු ආසියාවේ නවීන මානවයා ව්‍යාප්ත වීමේ හා සංක්‍රමණික ක්‍රියාවලිය සිදුවීම පිළිබඳ සෘජු අවබෝධයක් ගත හැකි අතිශය වැදගත් ස්ථානයකි.

මේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරීවරායාගේ ලිපියේ සංක්ෂිප්තය ය.

මුස්ලිම් ආක්‍රමණය

1920 දී පමණ මෙම පුද බිමේ මස්තාන් නැමති මුසල්මානුවෙක් ඉදිකිරීමක් කළේය. ඔහු ඉදිකළ  තාවකාලික ගොඩනැගිලි කඩා ඉවත්කර ඉන් පිටවිය යුතු බවට එවකට පැවති අධිකරණය අණ කළේය. කල්තොට ආරච්චි ගේ දින පොතක ඒ බව සටහන් වී තිබිණි.

කූරගල මුස්ලිම් ඉදිකිරීම්

කූරගල පුදබිම මුස්ලිම්වරුන් ආගමික සිද්ධස්ථානයක් බවට පත් කරගන්නේ 70 දශකයේ අග භාගයේය. ප්‍රදේශයේ දේශපාලන බලය ලබා එම්.එල්.එම්.අබුසාලි   මන්ත්‍රීවරයා කූරගල මුස්ලිම්වරුන්ගේ පුද බිමක් බවට පත්කිරීමේ කටයුතු වේගවත් කළේය.

කූරගල මුස්ලිම් දේවස්ථාන ඉදිවන්නේ 1973 දී මේ භූමිය පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව සතු පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ප්‍රකාශ වීමෙන් පසුය. ඉන් ප්‍රධාන ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල තබා ඇත්තේ 1999 අප්‍රියෙල් මාසයේදී එවකට පැවැති රජයේ මුස්ලිම් ඇමතිවරයකු විසිනි.

මේ අතර බලංගොඩ උඩඇල්ලේපොල ශ්‍රී බෝධී මාලකාරාමාධිපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් කූරගල බොදු අයිතිය වෙනුවෙන් 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ථ බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බව කියැවිනි.  මුස්ලිම්වරුන් විසින් නීති විරෝධීව ඉදිකළ සියලු ගොඩනැඟිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනේ සිට දින 14 ක් ඇතුළත ඉවත්විය යුතු බව කියැවිනි. එහෙත් මේ ඉවත්වීම සිදුවන්නේ වර්ෂ 2013 දීය. එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටියේ වත්මන් ජනාධිපතිවරයා ය.

අද තත්ත්වය

කූරගල පුරාවිද්‍යා ස්ථානය මුස්ලිම්වරුන්ගේ අත්පත් කරගැනීමෙන් ගලවා ගැනීමට එකට පැවති රජය සාධනීය උත්සාහයක් ගත්තේය. එම භූමියේ සැඟව තිබූ පුරාවිද්‍යා උරුමයෙහි විශ්වීය වැදගත්කම ප්‍රකට වූයේ මේ පුරාවිද්‍යා කැණීමෙන් පසුය.

දැන් අප ඉදිරියේ අප්‍රමාණ වටිනාකමක් සහිත ලෝක උරුම භූමියක් නිරාවරණය වී ඇත. ගැටලුව වන්නේ මේ මහා දැනුම් සම්භාරය හෙළිදරවු කරගෙන මේ භූමියේ වටිනාකම දැනගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධව නිශ්චිත අවබෝධයක් සහිතව අතාර්කික පිස්සු කෙළීමය.

කූරගල අසදෘශ මහා චෛත්‍යයක් ඉදිවේ. මේ ඉදිවන්නේ පුරාවිද්‍යා රක්ෂිත භූමියක් තුළය. රටේ වලංගු නීතිය ප්‍රකාරව පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ කිසිම නව ඉදිකිරීමක් තහනම්ය. එක්කෝ මේ භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස කළ ප්‍රකාශ අවලංගු කරගත යුතුය. නැතිනම් පුරාවිද්‍යා ආඥාපනත වෙනස් කරගත යුතුය. නැතිනම් නීතිය සමග මේ පිස්සු කෙළින උන් අල්ලා උන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

ඓතිහාසික යුගයේ මේ භූමිය පැවතුණේ භාවනානුයෝගී සංඝයා වහන්සේ වැඩ වාසය කළ ආරණ්‍ය සේනාසනයක් ලෙසය. පුරා සියවස් 12ක් මෙම භූමිය බෞද්ධ ආරණ්‍ය සේනාසනයක් සේ පැවතිනි. ආරණ්‍ය සේනාසන භූමියක මහා දාගැබ් ඉදිවූයේ නැත. මහා දාගැබ් වටා ඉදිවන දේශපාලන හා සමාජ බලයෙන් දූෂිත මහා ආරාම සංකල්පය ප්‍රතිපත්තියක් ලෙස අත්හළ අධ්‍යාත්මික නැඹුරුවක් සහිත භික්ෂූහු ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය ඇති කර පවත්වාගෙන ගියහ.  සියවස් ගණනාවක් පුරා පැවති එවැනි බොදු පින් බිමක ඉදිවන ඉදිකිරීමක් වේ නම් එය ඒ භූමියේ ගෞරවයට මෙන්ම ඓතිහාසික පෞරුෂයට ද ගරු කළ යුතුය. කූරගලදී මුලින්ම විනාශ කළේ ඒ ඓතිහාසික බෞද්ධ පැවැත්මය.

මිනිස්සුන්ට මෝඩ චූන් දීම සඳහා දේශපාලනිකව කරන අසංස්කෘතික මැදිහත්වීම්වලට සංඝරත්නය අවභාවිත කිරීම සිදුවෙමින් ඇත. ස්වකීය පැවැත්ම වෙනුවෙන් අනුර මනතුංග වැනි විද්වත් ප්‍රතිරූපක කිසිම ශාස්ත්‍රීය පදනමක් නැති අනීතික අවකෙළි හිරිකිතකින් තොරව සිදුකරමින් ඇත.

වැදගත්ම කාරණාව නූතන පුරාවිද්‍යා පර්යේෂණ මගින් මේ භූමියෙන් ඓතිහාසික යුගය ඉක්මවා යන අතීතයකට උරුමකම් කියන ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක අසීමිත තොරතුරු සමුදායක් ලැබීමය. මෙවැනි අවස්ථාවක උරුමය කළමනාකරණය කරන ශාස්ත්‍රීය ක්‍රමවේදයක් තිබේ. එය ලෝකයේ අතිශයින්ම දියුණු දැනුම් සම්භාරයක් සහිත විෂය පථයකි. එම දැනුම සහිත ලෝකය පිළිගත් විශිෂ්ට විද්වතුන් මේ රට තුළ හිටියදී තමන්ට හිතවත්, මුදල් හදල් ඇති, දේශපාලනිකව පය ගසා සිටීමට තරම් ශක්තියක් සහිත හිමිනමකට පුරාවිද්‍යා භූමියක් පවරා දීමේ සිල්ලර කටයුත්ත සිදුවෙමින් තිබේ. ඊට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දෙයි.

මුස්ලිම් ආක්‍රමණයෙන් මුදාගත් පමණින් කූරගල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හෝ ඔහුගේ රජයේ හෝ බූදලයක් නොවේ. එය සියවස් ගණනාවක් තිස්සේ මේ පොළොවේ යථාර්ථයට මුහුණ දෙමින් පැවතුණු උරුමයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති සියලු සම්ප්‍රදායන් බිඳ දමා අනුර මනතුංග වැනි දේශපාලනික වහල් භාවයෙන් මිදිය නොහැකි විද්වත් ප්‍රතිරූපක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වැනි තනතුරුවලට ආණ්ඩුව විසින් පත් කරගන්නේ මෙවැනි සිල්ලර ගනුදෙණු සඳහාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඇත්ත කටුක විය හැකිය. ජාතියක උරුමය යනු මහා බරසාර අර්ථයක් දනවන ප්‍රපංචයකි. උරුම සංහාරය ඉස්ලාම් මුසල්මානුවන්ගෙන් මෙන්ම අමානෝඥ සිංහල බෞද්ධයන් අතින්ද සිදුවිය හැකිය.

Exit mobile version