අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි!.

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද  (11) රාත්‍රී වීදි සංචාරය කරයි. පස්වරු හය පසුවී මිනිත්තු තිස්පහට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව ඇසළ පෙරහැර වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

නාථ, විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් පිටත්වන ඇසළ පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව කරා ගෙවැදෙනු ඇත.

අනතුරුව අද රාත්‍රී 12.58ට වයඹ දිශාභිමුඛව යළි දළදා වීදියෙන් පිටත්වන මහ පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට සිරිත් ප්‍රකාරව සධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරස්ථානයේ තැම්පත් කිරීම සිදුවේ.

එහිදී සිව් මහා දේවාල පෙරහැර සිය දේවාලයන් වෙත ගොස් පුද පූජා පවත්වා කටුකැලේ දිය කපනා ගං තොටට පැමිණ එහිදී සිරිත් ප්‍රකාරව දිය කැපීමේ මංගල්‍ය සිදුකරති.


පසුව හෙට (12) පස්වරු 1.30ට අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයේ පිටත්වන සධාතුක පෙරහැර කරඩුව රැගත් දහවල් පෙරහැර ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදියෙන් ගමන් කොට රජවීදියෙන් හැරී දළදා මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට පස්වරු 03ට උතුරු දිශාභිමුඛව දළදා මන්දිරය වෙත ගෙවැදීම සිදුවේ.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමාවූ බව සඳහන් සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  විසින් එදින පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී ජනපති රනිල් වික්‍රමසංහට භාරදීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර ඊයේ (10) වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ ඉන්දිරාජා ඇතු විසිනි. දෑල ඇතුන් වශයෙන් ගමන් ගත්තේ මියන්රාජා හා බුරුම රාජා ඇතුන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා නියෝජනය කරමින් මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත  ඊයේ පෙරහැර ගමනට එක්විය.

Exit mobile version