ලෝකයේ චමත්කාරය විඳිමින් ජීවිතය ඉගෙන ගන්නා සොබා දහමේ දරුවො….

සුනේත්‍රා ඇතුගල්පුර –

ඡායාරූප ශෂී සුබ්‍රමනියම් –

ස්විස් ඔර්ලෝසු මෙන්ම ස්විස් ජනතාවද වෙලාවට වැඩ කරන ප්‍රජාවක් ලෙස ප්‍රචලිතය. ඊටත් වඩා ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන ප්‍රජාවක් ලෙස අත්දැකීමෙන් අපට කිව හැකි
ය. ඒ නිසාම මුදල් ගනුදෙනුවලදී ඔවුහු ඉතා අරපිරිමැස්මක් සහිත ජාතියකි.

සිය මවට චීස් සෑදීම සඳහා උදව් වන ආන්යා..

මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් ගෙන් වැඩි පිරිසක් වසර කීපයක් යන්නට පෙර නවීන පන්නයේ වාහනයක් මිලදී ගැනීමට පෙළඹේ. බොහෝ සංක්‍රමණිකයන්ගෙ ප්‍රධාන අභිලාෂය එය වුවත් ස්විස් වැසියන් එවැන්නක් දෙස බලන්නේ තරමක අවඥාසහගත හැඟීමකිනි. වාහනයක් යනු විශාල අමතරව පිරිවැයක් දැරීමට සිදුවන දෙයක් බව ඔවුන් බහුතරයකගේ මතයයි. සංක්‍රමණිකයින් බහුතරයක් නවීන පන්නයේ වාහනයක් ගැනීම සඳහා මුදල් එකතු කරන විට ස්විස් වැසියන් මුදල් එකතු කරන්නේ තම නිවාඩුව රිසිසේ ගත කිරීම සඳහායි. බොහෝ සංක්‍රමණිකයින් සිය රටට නිවාඩුව ගතකිරීම සඳහා යෑමේ සිහිනයෙන් පසු වන විට ස්විස් වැසියන් වසරින් වසර තම අත්දැකීම් සොයා ලෝ වටා සංචාරය කිරීමට ඇල්මක් දක්වති. රැකියාව හැරුණු කොට ඔවුන්ගේ ඊළඟ ප්‍රධානතම සැලසුම වන්නේ ලැබෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමය. ඒ සඳහා මුදල් එකතු කිරීමය.


ස්විස් ජාතිකයින්ගේ ප්‍රධාන නිවාඩු කාලය වන්නේ ගිම්හාන නිවාඩු සමයයි. එයිනුත් පාසල් නිවාඩුව සහිත ජූලි හා අගෝස්තු මාසවල නිවාඩුව ඔවුන්ගේ වැදගත් කාල පරිච්ඡේදයයි . එහෙත් මෙම සිහිනයන් ගෙන් එපිට ජීවත්වන ප්‍රජාවක් ද සිටී. ඒ අන් කිසිවකු නොව අප මෙතෙක් කල් ඔබට ගෙනහැර දැක් වූ ඇල්ප්ස් කිරි ගොවීන්ය.
මාස තුනකට ආසන්න කාලයක් ඔවුන් සිය විශේෂ නිවාඩුව ගත කරන්නේ ඇල්ප්ස් කඳු මතය.

ජීවිතය ඉගන ගමින් ඇල්පස් කඳු මත ගෙවන නිවාඩුව

“මීට වඩා නිවාඩුවක් කොහෙද තියෙන්නේ, මාස තුනක් අපි ජීවත් වෙන්නේ ස්වභාව ධර්මයත් එක්ක, බොහෝවිට මිනිස් වාසයෙන් තොරව සතා සිව්පාවා සමග . අපි බොන්නේ ඇල්ප්ස් කඳු මත දලු ලන මල් වලින් සාදා ගත්ත තේ වර්ගයි , අපි ආශ්වාස, ප්‍රශ්වාස කරන වාතය මොනතරම් පිරිසුදු ද ..”මෙසේ හඬ අවදි කළේ රෙබෙකාය.

ඇල්ප්ස් දරුවො..

පශුවෛද්‍ය වරයා පැමිණි මොහොතේ මර්වින් ඔහුව පිළිගත් අයුරු

බොහෝ පිරිස් සිය නිවාඩුව විවිධ රටවල් වල සංචාරය කර වෙහෙස වී නැවත පැමිණෙන විට ඇල්ප්ස් කිරි ගොවීන් සිය නිවාඩුව දිනපතා නැවුම් අයුරින් ගත කරති. එයිනුත් මෙම නිවාඩු සමයේ වැඩිම වින්දනය ලබන්නෙ ඇල්ප් දරුවන්ය. ඇල්ප් දරුවෝ විශේෂිත දරුවන් පිරිසක් බව කීම අතිශෝක්තියක් නොවේ.
බොහෝ දරුවන් ප්ලාස්ටික් ට්‍රැක්ටර් සමග සමග සෙල්ලම් කරන විට ඇල්ප්ස් දරුවන් කුඩා කල සිටම සැබෑ ට්‍රැක්ටර් හැසිරවීම පිළිබඳ ඉගෙන ගනිති. බොහෝ දරුවන් සෙල්ලම් ගොවිපොළවල් සමඟ කාලය ගත කරන විට ඇල්ප්ස් දරුවෝ ගවයින්, ඌරන්, එළුවන්ගේ හා බූරුවන්ගේ පිට උඩ යමින් එම වින්දනය සෘජුවම ලබති.
දෙමව්පියන්ට උදව් කිරීමේ පුරුද්ද ළමයින්ගේ මානසික වර්ධනයට වඩාත් බලපාන බවට පාසල් අධ්‍යාපනයේ දී දරුවන් ඉගෙන ගනී. ඇල්ප්ස් දරුවන් එම සියලු පාඩම් නිරායාසයෙන්ම ඉගෙන ගෙන හමාරය .
නවීන තාක්ෂණයත් සමඟ වේගයෙන් ඉදිරියට යන සමාජය, ස්වභාවධර්මයෙන් ඈත් වීමේ ප්‍රතිවිපාක ගැන අප මැසිවිලි නගන විට ඇල්ප්ස් දරුවෝ ස්වභාවධර්මය සමග ජීවත් වෙමින් එහි සාරය මැනවින් උකහා ගනිති.

දුර්නක්තාල් කඳු වැටිය වෙත .ළඟා වූ සෑම අවස්ථාවකදීම අප දුටු විශේෂත්වයක් වන්නේ සිමර්මාන් යුවළ ගේ දරුවන් දෙදෙනා වන “මර්වින්” හා අන්යා සෑම විටම කිසියම් අයුරකින් සිය දෙමාපියන්ට උදව් උපකාර කරන අයුරුය. එය යුතුකමක් හා වගකීමක් ලෙස නොසලකා ඔවුන්ගේ ජීවිතයේම කොටසක් ලෙස සිතා ක්‍රියා කරන බවට අපට හැඟිණි. එය සැබවින්ම ස්වභාවික පෙළඹවීමකි. මාර්ටින් හා රෙබෙකා දුර්නක්තාල් වෙත සංක්‍රමණය වූ මුල් දිනයේ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වාහනයෙන් බඩුභාණ්ඩ ඉවතට ගැනීම සඳහා උදව් කළේය. මර්වින් ගවයින් ගාල් කිරීම සඳහා සිය පියාට උදව් කරන අතරතුරදී අන්යා සිටියේ චිස් සාදමින් සිටි සිය මවට උදව් කරමිනි.

අසනීපයෙන් පසුවන ගවයකු පරීක්ෂාකිරීමට පශුවෛද්‍යවරයා පැමිණි විට ඔවුන් දෙදෙනාම සිටියේ ඒ අසලයමය. පංශූ වෛද්‍යවරයා සමඟ වන සිය දෙමාපියන්ගේ සංවාදයට ඔවුහු ඇහුම්කම් දෙති. එමගින් ඔවුන් ලබන දැනුම වෙනත් කිසිදු පාසලකින් ලද හැක්කක් නොවේ. ගෙවත්තේ සිටින කිකිළියන් දමන බිත්තර ගණන් කරන්නේද මර්ව්න් හා අන්යාය. ඔව්හු ස්භාව ධර්මයේ දරුවන්ය.

වෙළෙඳපලට චීස් අලෙවි කරද්දී ආන්යා සිය පියා සමග

ග්ලාරුස්හි ගිම්හාන පාසල් නිවාඩු කාලය අගෝස්තු මැද අවසන්වේ. ඒ අනුව සියලු දරුවන් නැවත පාසල් වෙත යායුතුය .ස්විට්සර්ලන්තයේ බොහෝ ඇල්ප්ස් ගොවියෝ සිය දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපනය මෙලෙස පැකිලීමකින් තොරව ලබා දීමට උත්සුක වෙති. එහෙත් ඇතැම් ඇල්ප්ස් හි දුෂ්කර මාර්ග හේතුවෙන් ඇල්ප්ස් දරුවන්ට ඇල්ප්ස් සමය තුළදී සාමාන්‍ය පාසල් වෙත යාමට හැකියාවක් නොමැත. ඒ නිසාම ඔවුහු එම කාලසීමාවලදී පාසැල් නොයති.

එහෙත් ඒ සඳහා ඔවුන් විශේෂිත අවසරයක් අධ්‍යාපන බලධාරීන්ගෙන් ලබාගත යුතුය. මේ කාල සීමාවේ අමතර අධ්‍යාපනය සඳහා කාලය වැය කිරීම එම අවසරය ලබා දීමට ඇති කොන්දේසියකි. ඇතැම්විට ඇල්ප්ස් ගොවීන්ට අමතර ගුරුවරුන්ගේ සහාය ලබා ගැනීමටද සිදුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙම දුෂ්කරතාවයට මර්ව්න් හා අන්යා මුහුණ පාන්නේ නැත. සෑම දිනකදීම පෙරවරුවේ සිය වාහනය මගින් මාර්ටින් දරුවන් දෙදෙනාව ඇල්ප්ස් කඳු වැටියට පහළ පිහිටි පාසලට ගෙන යාම ඊට හේතුවයි.

 

Exit mobile version