ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ බැබළවූ හැඩකාර යෞවනයා ….

අකාශ් තාරුක පෙරේරා –

හැඩකාර තාරුණ්‍යය වෙනුවෙන් නිසි වටිනාකමක් ලබාදීමේ මුඛ්‍ය අභිලාෂය පෙරදැරි කොටගෙන ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද සංවිධානය වන, පැවැත්වෙන නිරූපණ තරඟාවලීන්‍ රැසකි. ‘Mr. Global’ යනු ඒ අතුරින් ද ජාත්‍යන්තරීය වශයෙන් කාගේත් විශ්වසනීයත්වය දිනාගත් සහ ජනාදරයට පත් නිරූපණ තරඟ සන්නාමයකි. 2021 වර්ෂය සඳහා වූ Mr. Global තරඟාවලිය මෙවර අඛණ්ඩව සත් වැනි වතාවටත් ඉකුත් දා තායිලන්තයේ මහා සරාකම්’හි විචිත්‍රවත් ලෙස පැවැත්වුණි.

ලොව ප්‍රකට රාජ්‍යයන් රැසක හැඩකාර, කඩවසම් මෙන්ම ප්‍රතිභාපූර්ණ තරුණයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද මෙවරත් ද කඩවසම් යෞවනයෙක් තායිලන්තයේ පැවැත්වුණු එම තරඟය වෙනුවෙන් සහභාගී වීය.

‘අභිෂේක් ප්‍රමුදිත’

‘අභිෂේක් ප්‍රමුදිත’ මෙතෙක් කලක් ඔහුගේ නම ප්‍රකට වූයේ ජාතික මට්ටමේ නිරූපණ ශිල්පියෙකු සහ නැගී එන ටෙලිනාට්‍ය සහ ගීත රූප රචනා නළුවෙකු ලෙස පමණි. නමුත් ඊයේ රාත්‍රියේ නිමාව දුටු Mr. Global 2021 තරඟාවලියේ Best National Costume නැමැති අනු තේමාව ජයග්‍රහණය කිරීමේ සුවිසෙස් භාග්‍ය ලැබීමෙන් මතු ඔහු දෙස් විදෙස් ආදරය සහ අවධානයට ලත් තුරුණු ශිල්පියෙකු ලෙස මෙතැන් පටන් සිය ගමන් මගෙහි පියවර තබනු ඇත.


ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ‘හදවතේ කතාව’ ටෙලිනාට්‍ය හරහා රංගන වරම් ලබමින් ටෙලිනාට්‍ය කලාවට ඔහු රංගන ශිල්පියෙක් ලෙස එක්වුවත් මෙරට තරුණ තරුණියන් අතර ඔහු ජනාදරයට පත්වූයේ ගීත රූප රචනා සඳහා වැඩි ඉල්ලුමක් හිමි තරුණ නළුවෙකු ලෙස ය. ‘Tiktok’ සමාජ මාධ්‍යයේ ද කැපීපෙනෙන චරිතයක් වන ඔහු නැගී එන ජනප්‍රිය තුරුණු නිර්මාණ කණ්ඩායමක් වන ‘Spade Squad’හි ද ප්‍රබල සාමාජිකයෙකි.

මෙම තරඟාවලිය වෙනුවෙන් Mister Sri Lanka for Mister Global 2021 යන නියෝජනය වෙනුවෙන් අභිෂේක් ප්‍රමුදිතව නිර්දේශ කිරීම, සූදානම් කිරීම සේම මෙම කර්තව්‍යයේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ද මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ අංක එකේ ජනප්‍රිය නිරූපණ ප්‍රවීණයෙකු වන සමීර වීරසිංහ ය.

‘අභිෂේක් ප්‍රමුදිත’

අභිෂේක් මෙහිදී දිනාගත් අනු තේමාව ජයග්‍රහණය වෙනුවෙන් ඔහුව සමීප කළ දේශීයත්වයේ වයනය රැගත් ඇඳුම් නිර්මාණය ‘අමිල උදය පෙරේරා’ විසින් සිදුකරන ලද්දක් වන අතර ඔහු ද දේශීය වශයෙන් අප සැමට මතු බලාපොරොත්තු තැබිය හැකි මෝස්තර නිර්මාණවේදියෙකි. සාම්ප්‍රදායික අවකාශයේ මෙරට ප්‍රකට සත්ත්ව රූපයක් වන ගුරුලා රූපය ඇසුරෙන් නිර්මාණය වූ රත් පැහැයට වඩා සමීප එම ඇඳුම් නිර්මාණය, මෙම තරඟාවලියේ මනාප විමසුම්වලදී පවා සමාජ මාධ්‍යයීය වැඩි අවධානයක්, ආකර්ෂණයක් දිනාගත් ඇඳුම් නිර්මාණයක් ලෙස ද දක්නට ලැබීම සතුටට කරුණකි.

කෙසේ නමුදු මේ සියල්ලෙහි අග්‍ර කීර්තිය ශ්‍රී ලාංකේය නාමය ඉදිරියෙන් තැන්පත් කිරීම උදෙසා තම තාරුණ්‍යයේ නිර්මාණනීය ජවසම්පන්න මෙන්ම හැඩකාර නියෝජනය මෙහෙයවූ අභිෂේක් ප්‍රමුදිත වෙනුවෙන් ඔහුගේ නිරූපණ සහ රංගන ක්ෂේත්‍රීය අනාගතය වඩා වඩාත් පැහැබර වන්නට, ජයග්‍රාහීත්වයම සමීප වන්නට මෙසේ අපගේ සුභාශිංසන එක් කිරීම වටිනේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


mailto:akashperera2000@gmail.com

Exit mobile version