යුගයක් සිරිමත් කළ මියුරු රසවතා – ෂෝන් කොනරි…

සදෙව් රත්නායක –

ලොව පුරා සිනමා රසිකයන් අතර සදාතනික වීරයකු බවට පත්වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවෙන් සිය රංගන ජීවිතයේ නිම් වළලු පුළුල් කරගත් ෂෝන් කොනරි ඊයේ අවසන් ගමන් ගියේය.

ඉයන් ෆ්ලෙමින්ගේ පරිකල්පනයෙන් බිහිවූ ජේම්ස් බොන්ඩ් කතා මාලාව අළලා තිරයට නැගුණු චිත්‍රපට මාලාවේ පළමු  වැන්න වූ ‘ඩොක්ටර් නෝ‘ චිත්‍රපටයේ බොන්ඩ්ගේ භූමිකාවට පණ පෙවූ ෂෝන් කොනරි ඊයේ බහමාස් දූපතේ පිහිටි සිය නිවහනේදී අවසන් හුස්ම හෙළු බව ඔහුගේ පුත්‍රයකු වන ජේසන් කොනරි මාධ්‍යයට ප්‍රකාශ කළේය. වසර 2000දී නයිට් නාමයෙන් පිදුම් ලබා ශ්‍රීමත් ෂෝන් කොනරි ලෙස සිය ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කළ අතර ඔහු සාමකාමී මරණයකට හිමිකම් කී බවත් පුත්‍රයා ප්‍රකාශ කළේය. 

ඔහුගේ ප්‍රචාරණ කළමනාකාරිනිය නැන්සි සෙල්ට්සර් කියා සිටියේ කොවිඩ් වසංගතය හේතුවෙන් පෞද්ගලික අවමංගල උත්සවයකින් ඔහුගේ අවසන් කටයුතු සිදු කරන බවකි. නමුත් වසංගතයේ අවදානම පහවීමෙන් පසු අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට අදහස් කරන බවත් ඇය කීවාය.


ඔස්කාර් සම්මානය දිනූ මොහොත

ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබූ මේ විශිෂ්ට නළුවා ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7කට සිය දායකත්වය ලබා දෙමින් ඉතිහාසයට එක්වූයේ එතෙක් මෙතෙක් සාර්ථකම ජේම්ස් බොන්ඩ් ලෙසිනි. දශක පහක කාලයක් නළුවකු ලෙස ජීවත් වූ ශ්‍රීමත් කොනරි වසර 1988 දී ඔස්කාර් සම්මානයට පාත්‍රවූයේ The Untouchables චිත්‍රපටයේ රංගනය උදෙසාය. ඊට අමතරව ඔහු ලොව විවිධ රටවල පැවැති සිනමා සම්මාන උළෙල රැසකදීම විශිෂ්ට රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. 

වසර 1957දී Lilacs in the spring චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ශ්‍රීමත් ෂෝන් කොනරි අවසන් වරට රඟපෑවේ 2012 වසරේදී තිරගත වූ Sir Billi චිත්‍රපටයේය. ඒ අතරතුර කාලයේ ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපට සංඛ්‍යාවට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7ක් ඇතුළත්ය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ පළමුවැන්න 1962දී තිරගත වූ Dr No චිත්‍රපටයයි. එහි රඟපාන විට ඔහුගේ වයස අවුරුදු 32කි. 

Dr No චිත්‍රපටයේ උර්සුලා ඇන්ඩ්‍රිස් සමග.

අනතුරුව Russia with Love (1963), Goldfinger (1964)Thunderball (1965), You Only Live Twice (1967), Diamonds are Forever (1971)Never Say Never Again (1983) බොන්ඩ් චිත්‍රපට ඔහුගේ රංගනයෙන් ප්‍රභාවත් විය. 

නළුවකුට උචිත කඩවසම් පෙනුමකින් යුතු ෂෝන් කොනරි තරුණියන්ගේ ආකර්ශනය දිනා සිටියේ පාසල් වියේ සිටමය.  ඔහු විසින්ම පසුකලෙක සඳහන් කළ පරිදි වැඩිහිටි කාන්තාවක් සමග ලිංගිකව එක්වීමෙන් ඔහුගේ පවිත්‍රතාව අවුරුදු 14දීම අහිමිවී තිබිණි. 

Never Say Never Again චිත්‍රපටයේ දර්ශනයක්

ෂෝන් කොනරිගේ පළමු රැකියාව වූයේ වීදි පුරා කිරි අලෙවි කිරීමය. පසුකලෙක ඔහු ඒ පිළිබඳව සිහිපත් කරමින් මෙසේ කීවේය.

‘එඩින්බරෝ සිනමා උළෙල අතරතුර වරක් මා ටැක්සියකින් ගමන් කරමින් සිටින අතරතුර සෑම වීදියකම නාම පුවරු රියැදුරාට සිහිපත් කළා. ඔහු පුදුමයට පත්ව මගෙන් ඒ ගැන අසා සිටියා. මා අතීතයේ එක්තරා කාලයක මෙහි කිරි අලෙවි කරමින් වීදි පුරා ගිය බව ඔහුට කීවා. එවිට ඔහු මගෙන් ඇසුවේ දැන් ඔබ කරන රැකියාව කුමක්ද කියායි. ඊට මම පිළිතුරු දුන්නේ නෑ.‘

අවුරුදු 16දී රාජකීය නාවික හමුදාවට බැඳුනු ෂෝන් කොනරි සිය මවුබිමටත්, මාපියන්ටත් දැඩි ලෙස ආදරය කළ පුද්ගලයෙකි. ඔහුගේ සිරුරේ පච්චා දෙකක් කොට තිබිණි. ඉන් එකක්  Mom and Dad‘ ලෙස සටහන් වූ අතර අනෙක සටහන් වූයේ ‘Scotland forever‘ යනුවෙනි. 

කෙසේවෙතත් රෝගී තත්ත්වයක් හේතුවෙන් වසරකට පසු ඔහු නාවික හමුදාවෙන් ඉවත් කර තිබිණි. ඉන් පසුව ලොරි රියැදුරකු, ජීවිතාරක්ෂක නිලධාරියකු, කම්කරුවකු, චිත්‍ර ශිල්පීන් සඳහා පෙනී සිටින මෝස්තර නිරූපණ ශිල්පියකු, මිනි පෙට්ටි ඔප දමන්නකු ලෙස ඔහු විවිධ රැකියා ගණනාවක නිරත විය. 

නාවික හමුදා සේවයේ නිරතව සිටියදී කායවර්ධන ශිල්පය ප්‍රගුණ කළ හෙතෙම 1950 මිස්ටර් යුනිවර්ස් කායවර්ධන ශූරතාවලියේ තුන්වැනි ස්ථානය දිනාගත් බව අප්‍රකට කරුණකි. 

එවකට තරුණියන්ගේ ආදරයට දිනු කඩවසම් තරුණයකු වූ කොනරි මුල් කාලයේ කැරොල් සොපෙල් නමැති තරුණියක සමග පෙම් සබඳතාවක් ගොඩනගාගෙන සිටියද ඇය යුදෙව් පවුලකින් පැවත එන තරුණියක වීම හේතුවෙන් එම  සබඳතාව අවසන් කළේය. 

නළුවකු ලෙස සිනමාවට අවතීර්ණ වූ 50 දශකයේ අගභාගයේදී ඔහු නිලියක වූ ඩියාන් සිලෙන්ටෝ සමග විවාහ විය. ජේම්ස් බොන්ඩ් පළමු චිත්‍රපටයෙන් වසරකට පමණ පසු දෙදෙනා දික්කසාද වනවිට කොනරි පිය පදවියෙන් පිදුම් ලබා සිටියේය. ඔහු සිය අවසන් කාලයේදී ජේසන් නම් වු එම පුත්‍රයා ද ඔහු සමග සිටියේය. 

සිය බිරිඳ මිෂෙලින් සමග.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩියාන්ගෙන් දික්කසාද වීමෙන් පසු තවත් නිලියන් කිහිපදෙනකු සමගම පෙමින් වෙලී සිටි කොනරි හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය පෙම්වතෙකි. නමුත් ඔහු මිය යනතුරුම ජීවත් වූයේ 1975දී විවාහ කරගත් මොරොක්කෝ සම්භවයක් සහිත ප්‍රංශ තරුණියක වූ මිෂෙලින් රොකොබෝන් සමගය. 

 

 

 

 

Exit mobile version