යුගයක් රසවත්කළ මියුරු ගී පද රචක, ප්‍රවීණ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා සමුගනී..

ප්‍රවීණ ගීත රචක සහ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වූයේය . ඔහුගේ දේහය හෙට උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා වත්තල මහින්ද මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.

අවසන් කටයුතු එදිනම සිදු කිරීමට නියමිතය.

ඔහු වඩාත් ජනප්‍රසාදයට පත් වූයේ ගීත රචකයෙකු ලෙසිනි. කැමිලස් පෙරේරා ලියූ ගීත ප්‍රමාණය දහසකට අධික බව කියැවේ.


විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන “හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට, කමල් අද්දරආරච්චි සහ දමයන්ති ජයසූරිය ගායනා කරන සප්තකන්‍යා චිත්‍රපටයේ ආශ්වදනීය ගීතය වූ “උන්මාද වූ ප්‍රේමාදරී“ මහාචාර්ය සනත් නන්දසිරි ගයන “ පින්බර යුවතිය කුලකුමරිය වී මංගල මල් නැකතේ“ ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කරන “හදවිලේ ඔබ පිපුණා“ රෝහන සිරිවර්ධන ගායනා කාරන “දේව මන්දීරේ“ වැනි අතිශය ජනප්‍රසාදයට පත් ගීතවල පද රචකයා වූයේ ඔහුය.

සනත් නන්දසිරි ගයන “විකසිත වතකමලේ” “නාමල සේ සිනාවී”, ෆීලික්ස් ඇන්ටන් ගයන “ආදර ප්‍රිය ළදුනේ”- ටී.එම්. ජයරත්න ගායනා කරන “හදිස්සියේ හනි හනිකට” විශාරද නන්දා මාලනී ගයන “රැයේ තුන්‍ යම” සහ “දුර ඈත තුරු වදුලේ” එඩ්වඩ් ජයකොඩි ගයන “පෙර ඔබ මා හමුවී” ආචාර්ය වික්ටර් රත්නායක ගයන “ආයුබොවේවා” රෝහණ සිරිවර්ධන ගයන “පෙරදා ඈ මගේ” දමයන්ති ජයසූරිය ගයන “ඔබ සිත සසලව ” නිර්මලා රණතුංග ගයන “පාවේදෝ මිදී ඈත” පුන්සිරි සොයිසා ගයන “මා තනිවෙලා” වැනි ගීත තවමත් සහෘද හදවත් තුළ නොමැකෙන සේ තැන්පත් වී ඇත්තේය.

“ඥානාර්ථ ප්‍රදීපය” පුවත් පතින් සිය වෘත්තීය මාධ්‍ය දිවිය පටන් ගෙන “ලංකාදීප”,”ලක්බිම”,”ඉරුදින”,” දිනමිණ”,” මව්බිම”,” සරසවිය”,”ගීතා” පුවත් පත් හී මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ කැමිලස් පෙරේරා “තිත්ත හකුරු” , “දඬුවම” “මට සමාවක් නැද්ද” යන වේදිකා නාට්‍ය ලියා වේදිකා ගත කල අතර,”දෙවෙනි ගමන”, සහ ” මංගල තෑග්ග” චිත්‍රපට සඳහා සහය අධ්‍යක්ෂ වරයෙකු ලෙසද තම හැකියාවන් ඉස්මතුකර ලීය.

1947 අප්‍රියෙල් 04 වන දින උපන් මේ නිර්මාණශීලි කලාකරුවා නමින්, මාකවිටගේ ස්ටැන්ලි කැමිලස් ප්‍රේරා නොහොත් කවුරුත් දන්නා කැමිලස් පෙරේරා යි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චිත්‍රපට පසුබිම් ගී නිර්මාණ ශිල්පියෙකු ලෙස , “අසිපත මමයි”-1986, “මංගල තෑග්ග”-1987,”සහරාවේ සිහිනය”-1990, “වැඩ බැරිනම් වැඩක් නෑ”-1991, “සප්ත කන්‍යා”-1993, “දෙවියනි සත්‍ය සුරකින්න”-1995, “බොඩිගාඩ්”-1996,”මන මෝහිණී”-1996,” රෑ රූ”-1999, “සීත සමීරේ”-1999, “දඬුවම”-2000,”විශ්ම රාත්‍රිය”-2003 ඇතුළු චිත්‍රපට රැසකට ගීත ලියා ඇත.

Exit mobile version