මා දැන් මිත්තණියක්… ජීවිතේ බොහෝ දේ දිනා ගත්තු තෘප්තිමත් ගැහැණියක්… චම්පා ශ්‍රියානි

තරීෂා අබේවික්‍රම

පසුගිය කාලේ චම්පා ශ්‍රියාණි රට හැර ගියා කියලත් සමහරු කිව්වා. ඒත් ඉතින් එහෙම කොහෙවත් ගිහිල්ලා නම් නැහැ. ඒ වුණාට චම්පා නම් කියන්නේ එයා ලෝකයක් දිනුවා කියා යි.

“දූලා දෙන්නා නිසා මට බොහෝ අවස්ථා අහිමි වුණා. රංගන ශිල්පිනියක් හැටියට මගේ තාරුණ්‍යයේ මට ලැබුණු විශිෂ්ට චරිත දූලා දෙන්නා නිසා මං ප්‍රතික්ෂේප කළා. හැබැයි ඉතින් මට ඒ ගැන දුකක් නෑ. ඒ දෙන්නා අද හොඳින් යහපත් දරුවෝ විදිහට ඉන්නේ අම්මා හැටියට මං එයාලාව ඇස්දෙක වගේ බලා ගත්ත නිසයි. සැමියා උපයලා ගෙනත් දෙන දේ අරපරෙස්සම් කරගෙන පවුල් ජීවිතයක් සාර්ථක ව පවත්වාගෙන යන එක තරම් ගැහැනියකට තවත් ජයග්‍රහණයක් නැහැ. ඒ අතරේ මම හොඳ නිර්මාණවලටත් දායක වුණා. අපි මොන දේ කරන්නෙත් දරුවන් හොඳින් රැක බලා ගන්නයි. ඉවක් බවක් නැතුව නිර්මාණ පස්සේ හඹා ගියා නම් මට දරුවෝ, සැමියා, පවුල් ජීවිතය සාර්ථක ව පවත්වාගෙන යන්න බැරි වෙන්නත් ඉඩ තිබුණා. දැන් දරුවෝ ලොකුයි. ලොකු දුව විවාහ වෙලා. එයාට චූටි පුතෙක් ඉන්නවා. පුතෙක් ගැන තියෙන ආදරයත් දැන් මට සම්පූර්ණ යි.”

චම්පා දියණියන් දෙදෙනා සහ සැමියා සමග…

“ඒත් රංගන ජීවිතයේ ලොකු අවස්ථාවක් මට පසුගිය දවසක මග හැරුණා. ජයන්ත චන්ද්‍රසිරි අය්යා වෙස්මුහුණු නාට්‍යයට මට කතා කරපු කාලෙ මට ලොකු දුව ලැබෙන්න හිටපු නිසා ඒ අවස්ථාව මගහැරුණා.
ජයන්‍ත අය්යාගේ නවතම නිර්මාණයටත් මට ඇරයුම් ලැබුණා. පුංචි මුණුබුරාගේ උපත නිසා මට ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. ඇත්තට ම ඒ ගැන නම් දුකක් තියෙනවා. ඒත් ඉතින් ලොකු දුවට මාව අත්‍යවශ්‍ය ම වෙලාවක් නිසාත්, මගේ ජීවිතයේ පුතෙක් ලද අවස්ථාව නිසාත් මට ජයන්ත අය්යාගේ නිර්මාණයට යන්න බැරි වුණා. ජයන්ත අය්යා මට කිව්වා දුක් වෙන්න එපා නංගී, ජීවිතයේ තව අවස්ථා උදා වේවි කියලා.”


“ඒ වගේ තව බොහෝ අවස්ථා මට මග හැරුණා. තාරුණ්‍යයට මග හැරුණු චරිත අද ලැබුණත් මට කරන්න බැහැ. මං දැන් තාරුණ්‍යය පසු කරලා ඇවිත් ඉන්නේ. දැන් මට ගැලපෙන චරිතයක් ලැබුණු නිසාත්, විවේකයක් තියෙන නිසාත් ‘සකර්ම’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. මේ දවස්වල ඒක විකාශය වන නිසා බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩාක් කාලෙකින් රඟපෑව නිසා මටත් පොඩි චකිතයක් මුලදි තිබුණා. අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු හරි ලස්සනට, දක්ෂ විදිහට ශිල්පීන් ව මෙහෙයුවා. අතීතයේ මා තුළ තිබුණු හැකියාවන් තව ම ගිලිහී ගොස් නැති බව මටත් අවබෝධ වුණා. ප්‍රියංකර රත්නායක, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු ව ජ්‍යෙෂ්ඨ, සමකාලීන හා නවක ශිල්පීන් එක්ක බොහොම සතුටින් රූගත කිරීම් කළා. සාමුහික ක්‍රියාවක සාර්ථකත්වය ප්‍රතිචාරවලින් අත්දකිමින් ඉන්නවා.”

සකර්ම නාට්‍යයේ රූගත කිරීම් අතර…

බැද්දේ ගෙදර, වන වදුලේ වසන්තය, කටු ඉඹුල, හිමි අහිමි, ගංගා සහ නිශශංක නාට්‍යවල චම්පා කළ රඟපෑම් අදටත් බොහෝ අයට අමතක නැත. පසුගිය කාලේ ඒවා නැවත විකාශය වීම නිසා අලුත් පරපුරට ද ඒවා දැකගත හැකි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඇත්තට ම පැරණි නිර්මාණවල සමාජයට ගතයුත්තක් තිබුණා. කාලයක් ප්‍රේක්ෂකයෝ රූපවාහිනියෙන් ඈත්වෙලා හිටියා. වසංගත කාලේ පැරණි නිර්මාණ නැවත විකාශය වූ නිසා ගෙවල්වල ඉඳගෙන ඒවා නැවත නරඹන්න හැකි වුණා. දරුවන්ට, දෙමව්පියන්ට එකට ඉඳලා නරඹන්න පුළුවන් හොඳ නිර්මාණ බලන්න නැවත ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබුණා. දැන් නම් ආයෙමත් ටික ටික හොඳ නිර්මාණ බිහි වෙමින් තිබෙනවා. ඒ ගැන සතුටුයි.”

Exit mobile version