පමා වෙවී ඉඳිනට නැත වේලා…!

ජෝෂුවා බෙල්

සමන් කළුආරච්චි – 

ඒ සීත සෘතුවේ තවත් එක් උදෑසනක්. කාර්යාලවලට යන්න ඒ වගේම පාසල් වලට යා ගන්නට හැමෝම ලහි ලහියේ සූදානම් වන තවත් එක් හිමිදිරියක්. හරියටම කියනවා නම් වෙලාව උදේ 7.51 යි.

තම තමන්ගේ කටයුතුවලට හැම දෙනාම මහා කඩි මුඩියකින් දිව යන මේ මොහොතේ ඇමරිකාවේ වොෂිංටන් ඩී සී ප්‍රධාන දුම්රිය නැවතුම් පොළට බොහොම ප්‍රසන්න පෙනුමක් තිබුණු තරුණ මිනිසෙක් ඇතුළු වුණා. ඇඳගෙන හිටියේ ඩෙනිම් කලිසමක්. තොප්පියකුත් ඔළුවේ තිබුණා. 

තමන්ගේ වටපිටාවේ සිද්ධ වෙන මහා කලබලය නොදැක්කා වගේ අර කලින් කිව්ව පුද්ගලයා විතරක් බොහොම නිසොල්මනේ දුම්රිය ගොඩනැගිල්ලේ ආලින්දයට ඇතුළු වෙලා තමන් අත තිබුණු සැහැල්ලු ගමන් මල්ල බිමින් තියලා යමක් අතට ගත්තා. 


මොකක්ද ඒ?

වයලීනයක්. වයලීනය අතට ගත්ත මේ තරුණයා ඒක වාදනය කරන්නට පටන් ගත්තා. අහළ පහළ කිසිම දෙයක් නොබලා තමන්ගේ සංගීතය ගැන විතරක්ම අවධානය යොමු කරමින් මේ නන්නා‍දුනන මිනිසා දිගින් දිගටම වයලීනය වයන්නට පටන් ගත්තා. කොයි තරම් වෙලාවක් ඔහු තම සංගීත වාදනය කරගෙන ගියා ද කියනවා නම් පැයක් විතරම ඔහු එක දිගටම සංගීත ඛාණ්ඩ හයක් වාදනය කළා.

දුම්රිය ගොඩනැගිල්ලේ ආලින්දයේ ඉඳන් ඔහු මේ වාදනය කරන වෙලාවේ දහසකට වඩා මිනිස්සු ඔහු පසුකරගෙන ගියා. එක්තරා වෙලාවක මැදි වියේ මිනිහෙක් විතරක් ඔහුගේ වාදනය ළග මොහොතක් නතර වුණා. ඒත් ඒ තත්පර කිහිපයකට විතරයි. ආපහු පැමිණි වේගයෙන්ම ඔහු අපහු යන්නට ගියා.

වයලීනය වාදනය කරන මේ නන්නාදුනන තැනැත්තාට මුල්ම මුදල් ආධාරය හම්බ වුණේ කාන්තාවකගෙන්. ඒත් ඇය තමන් අත තිබූ ඩොලරය මේ වයලීන් වාදකයා දිහාවට විසි කරමින් ලහි ලහියේ දිව ගියා මිසක් අඩුම තරමින් තත්පරයක කාලයක්වත් එතැන රැ‍ඳුණේ නැහැ.

තවත් මිනිහෙක් මොහොතක් බිත්තියකට හේත්තු වෙලා ඔහුගේ වාදනයට සවන් දෙන බවක් පෙනුනත් ඒ ඉතාම සුළු මොහොතකට විතරයි. හදිසියේම තමන්ගේ අත් ඔරලෝසුව දිහා බලපු ඔහුත් සෙස්සන් වගේම කලබලකාරී මිනිසුන් රැළට එකතු වුණා.

මිනිසුන් දහස් ගණනක් එහේ මෙහේ පසුකරමින් ගිය මේ ස්ථානයේ අප සදහන් කරන නන්නාදුනන වයලීන වාදකයාට වැඩිම අවධානයක් ලැබුණේ අවුරුදු තුනක් වයස පුංචි පුතෙක්ගෙන්. වයලීන වාදකයා ඉදිරියේ නතර වෙලා මේ සංගීතයට සවන් දෙන්න උත්සාහ කළ මේ පුංචි දරුවාව ඇදගෙන යන්න ඔහුගේ අම්මා දැඩි උත්සාහයක් ගත්තත් පුංචි පුතාගේ හිත තිබු‍ණේ තවත් ටිකක් වෙලා එතැන රැදෙන්නයි. ඒත් අම්මා තදින්ම පුතාව තල්ලු කරගෙන යන්න ගියා. අම්මා ඇදගෙන යද්දිත් පුතා සැරෙන් සැරේ ඔළුව හරවලා මේ වාදකයා දිහා බලන්න උත්සාහයක් ගත්තා. ඒ වගේ අවස්ථාවන්න නම් තව දෙක තුනක්ම වුණා. ඒ කියන්නේ වරින් වර වාදනය දිහා අවධානය යොමු කළ පුංචි දරුවන්ව අම්මලා තාත්තලා ඇදගෙන ගියේ මොහොතක්වත් සුනංගු නොවී.

මේ වාදනය සිදු වුණු විනාඩි 45ක කාලය පුරා මිනිසුන් 1070 ක් අධික පිරිසක් එතැනින් එහේ මෙහේ ගියා. ඒත් වාදකයා ඉදිරියේ මොහොතකට හරි නතර වුණේ මිනිසුන් හය දෙනෙක් විතරයි. මිනිසුන් විස්සක් විතර වාදකයා දිහාවට සල්ලි විසි කළත් ඒ අය කවුරුවත් ඔහු ඉදිරියේ සුලු මොහොතකටවත් නතර වුණේ නැහැ. මේ කාලය පුරාවට වාදකයාගේ පය පාමුල එකතු වුණ මුදල ඩොලර් 32ක්. සමහරුන් සතය දෙක පවා දාලා තිබුණා. (පහත සබැදියාවෙන් ඔබට මේ අවස්ථාව දකින්න පුළුවන්)

https://www.youtube.com/watch?v=hnOPu0_YWhw&feature=emb_title

එක දිගටම පැයකට ආසන්න කාලයක් කළ වාදනය නිමා කරමින් මේ මිනිසා නිහඩව තම වයලීනය උරහිස මතින් පහතට ගත්තා; කිසිම කෙනෙකුගේ අවධානයක් නැතිවම. ඒ වගේම කාගේවත් අත් පොළසන් නාදයක් නැතිවම.

වාදනය අවසානයේ දී මේ නන්නාඳුනන මිනිසා තමන්ගේ ගමන් මල්ල ඇතුළට දමා ගත්තේ ලොව මිල අධිකතම වයලීනය කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඔව් ඒ වයලීනය ඩොලර් මිලියන තුන හමාරක් ඒ කියන්නේ රුපියල් කෝටි 35ක් වටිනා ලොව මිල අධිකම වයලීනයයි. ඒ වගේම පැයකට ආසන්න කාලයක් පුරාවටම ඔහු වාදනය කළේ එතෙක් මෙතක් ලොව බිහිවූ අති විශිෂ්ටතම සහ වැයීමට අපහසුම වූ අතිශය දුර්ලභ සංගීත ඛන්ඩයක්. දුම්රිය පදික වේදිකාවේ මේ වාදනයේ යෙදුණු නන්නාදුනන මිනිසා දැනට ලොව විශිෂ්ටතම ජීවමාන වයලීන් වාදකයන් අතරින් ඉදිරියෙන්ම ඉන්න වාදකයා විදියට සැලකෙන ජොෂුවා බෙල් (Joshua Bell). දුම්රිය වේදිකාවේ මේ වාදනය කරන්නට දවස් දෙකකට කලින් බොස්ටන් රගහලේ දී ඔහු කළ වාදනය සදහා ආසනපත් විකුණුනේ ඩොලර් සියයකට වැඩි මුදලකට.

ජොෂුවා බෙල් වේදිකාව මත සිදු කරන වාදනයක් ඔබට මේ ලින්ක් එකෙන් බලන්නට පුලුවන්. https://youtu.be/7lo8sTmUx08

මේ කී හැම දෙයක්ම ඇත්තම සිදුවීම්. හැමෝටම හොර රහසින් පදික වේදිකාවේ වාදකයකු විදියට ජොෂුවා බෙල් කළ මේ වාදනය සංවිධානය කළේ වොෂිංටන් පෝස්ට් (Washington Post) පුවත්පතයි. සිදුවන හැම දෙයක්ම පටිගත කරගන්න ඔවුන් රහසිගතව හැම තැනකම කැමරා සවි කර තිබුණා. වොෂිංටන් පෝස්ට් පුවත්පත මේ කටයුත්ත සිදු කර තිබුණේ ඔවුන් විසින් සිදුකරනු ලබන සමාජ සමීක්ෂණයක තවත් එක් පියවරක් විදියට. මේ සමීක්ෂණය සිදුවුණේ අවුරුදු ගණනාවකට කලින්. ඒත් සමීක්ෂණයේ ප්‍රතිඵල වෙන කවදාටත් වඩා අදට වලංගුයි.

එතකොට මොකක්ද මේ සමාජ සමීක්ෂණයේ අරමුණ වුණේ?

අරමුණ පැහැදිලියි. අනපේක්ෂිත මොහොතක අපේ ඇස් ඉදිරිපිට සිදුවන අපූර්වත්වයෙන් පිරි කිසියම් දෙයක සුන්දරත්වය වටහා ගන්නට අපට පුළුවන්ද? ඒ සුන්දරත්වය විඳගන්නට මොහොතක් නතර වෙන්නට අපිට පුළුවන්ද?

මේ සමීක්ෂණය විවිධ රටවල විවිධ සංස්කෘතීන් අතරේ මේ විදියේ ස්ථාන කිහිපයකම සිදුවුණා. ඒත් ප්‍රතිඵලයේ කිසිම වෙනසක් වුණේ නැහැ. මේ සමීක්ෂණය ඇමරිකාවේ ලංකාවේ කොළඹ කොටුවේ සිදුකළත් ප්‍රතිපලයේ වෙනසක් බලාපොරොත්තු වෙන්නට බැහැ.

මේ සමික්ෂණය අවසානයේ අතිශය වැදගත් එළඹුමකට මාවත විවර වුණා. ඒ තමයි ලොව දක්ෂතම වයලීන් වාදකයා ලොව මිල අධිකම වයලීනය භාවිත කරමින් ලොව මෙතෙක් බිහි වූ අතිශය දුර්ලභ සහ විශිෂ්ටතම සංගීත ඛණ්ඩය වාදනය කරද්දී මොහොතකට නැවතී එයට සවන් දෙන්නට හැකියාවක් අපට නැතිනම් අපේ ජීවිතයේ කොයි තරම් වැදගත් අවස්ථාවන් අපෙන් ගිලිහී යනවා ඇතිද?

මේ අපූරු සමාජ සමීක්ෂණයෙන් වොෂිංටන් පෝස්ට් පුවත්පත අපේම ජීවිතය ගැන අපිටම ආපහු හිතලා බලන්න අළුත්ම කවුළුවක් අපිට විවර කරලා තියෙනවා. අද අප ජීවත් වන්නේ අතිශය දියුණු තාක්ෂණික මෙවලම් වලින් පිරුණු ලෝකයක. ඒ වගේම මිනිසුන්ගේ පහසුව පිණිස විවිධාකාර යාන වාහන උපකරණ බිහිවුණු ලෝකයක. ඒ හැම දෙයක්ම බිහි කරලා තියෙන්නේ මිනිසුන්ගේ කාලය ඉතිරි කරන්නයි. ඒත් අපිට වෙන කවදාටත් වඩා කාලය මදි වගෙයි දැනෙන්නේ.

අද අපි ජීවිතය විඳින්න සුලු මොහොතකටවත් උත්සාහයක් ගන්නවාද? උදේ හවස දකින ගහක පිපුණු මලෙක එහෙමත් නැතිනම් හැමදාමත් ඇහැ ගැටෙන පුංචි දොළ පාරක අසිරිය වගේ පරිසරෙයේ සුලු දෙයක් පවා හැමදාම අපූර්වත්වයෙන් බලන්නට පුලුවන් නම් බාධක කම් කටොළු අතරේ වුණත් ජීවිතය කොයි තරම් සුන්දර කරගන්න පුලුවන්ද?

දවසින් දවස ජීවිතය ගෙවා ගන්න විදිහ අපි හැමෝම දැනගෙන හිටියත් ඒ ජීවිතය විදින්න තරම් දැනුමක් බොහොමයක් දෙනෙකුට නැහැ. උනුන් පරදමින් දිව යන අතරේ අඩුම තරමින් හිනාවක් හුවමාරු වෙන්නේ කොයි තරම් කලාතුරකින් ද? අවුරුදු ගණනින් ජීවිතය ගෙවා දැමුවත් ගෙවා දැමූ ඒ අවුරුදුවලට ජීවය කවාගන්නට දන්නේ කවුරුන්ද? ලෝකය පුරාම වෙන හැම දේම හොයා බලන්නට කුතුහලය දක්වන අයගෙන් කී දෙනෙක් තමන්ගේ අල්ලපු වැටේ ඉන්නා අසල්වැසියාගේ දුක සැප සොයා බලනවාද?

හැම අංශයකම විශේෂඥයන් දැනමුත්තන් පිරිලා හිටියත් වෙන කවරදාටත් වඩා අද මුළු ලෝකයම විසදා ගන්න බැරි ගැටළු රාශියක ගිලිලා. උපාධි සහතික වලින් පිරුණු උගතුන් බොහොමයක් හිටියත් සාමාන්‍ය බුද්ධියක් ඇත්තේ කීයෙන් කී දෙනාටද? අලුත් අලුත් බෙහෙත් වර්ග කෑම වර්ග දවසින් දවස සොය ගත්තත් නිරෝගී කම දවසින් දවස අපෙන් ඈත් වෙලා යනවා. සුව කළ නොහැකි ලෙඩ රෝග පැතිරිලා යනවා. හැමදාම හැම මොහොකම සල්ලි හම්බ කරන්නට වෙහෙසන අපේ මනුස්සකම අද අන් කවරදාටත් වඩා පිරිහිලා ගිහින්. යාන වාහන මිල මුදල් ළගා කර ගත්තත් ඒ එක්කම ජීවිතයේ සතුට දවසින් දවස ඈත් වෙලා යනවා. ආදායම වැඩි කරගත්තත් සාරධර්ම ඒ එක්කම අඩු කරගන්නවා.

සුඛෝප‍භෝගී දේවල් හරි හම්බ කරගත්තත් ඒ දේවල් සැබෑ ලෙසින්ම භුක්ති විදගන්නේ කීයෙන් කී දෙනාද? මහා මන්දිර ඕන තරම් තිබුණත් ඒ මන්දිර ඇතුළේ කැදැල්ලක උණුසුම රැදිලා තියෙනවාද? බොහොම දේවල් කියෙව්වත් ලිව්වත් ඒවායින් සැබවින්ම යමක් ඉගෙන ගන්නේ අප අතරින් කීයෙන් කී දෙනෙක් ද? බොහොමයක් දේවල් සැලසුම් කළත් ඒ සැලසුම් සැබෑ ලෙසින්ම සාර්ථක කරගන්නට උත්සාහ ගන්නේ කොයි තරම් අල්ප පිරිසක් ද?

මේ නිසාම තමන්ගේ ගොඩ ප්‍රමාණාත්මකව වැඩි කර ගන්නට මිසක් ඒවායේ ගුණාත්මක බව වැඩි කරගන්නට කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොදුවේ ගත්තම මිනිසුන් විදියට අපේ පරපුර අද ඉගෙන ගෙන තියෙන්නේ දිවයන්න මිසක් නතරවෙන්න නෙමෙයි. එත් ජීවිතය කියන්නේ එකිනෙකට බද්ධ වෙලා ගලා ගෙන යන උණුහුම් සිද්ධි දාමයක් කියලා බොහොම දෙනෙක්ට අමතක වෙලා. මොහොතින් මොහොත ගෙවිලා යන මේ ජීවිතය දැනුම් තේරුම් ඇතිව උණුසුමෙන් විඳගන්නට ඔබ සූදානම් නැතිනම් අඩුම තරමින් පසුතැවෙන්නටවත් කාලයක් ජීවිතය ඔබට ඉතිරි නොකරාවි.

 

 

Exit mobile version