“ඇන්ටික් කඩයක මරණයක්“ අරුමය හා හඳගමලාගේ කරුමය

ජානක ලියනආරච්චි –

“ඇන්ටික් කඩයක මරණයක්“ වේදිකාගත වන්නේ හෙටය. හෙට (19) , අනිද්දා (20) සහ ඉන්අනිද්දා (21) දින තුනෙහි සවස 7ට කොළඹ ලයනල් වෙන්ට්ඩ්  රඟහල වේදිකාව වෙන් වන්නේ ඇන්ටික් කඩයක මරණයක් වෙනුවෙනි. නාට්‍යය සඳහා නිකුත් කළ සියලුම ප්‍රවේශපත්‍ර ඊයේ (17)වන විට විකිණී නිමා වී ඇත.

එක් අතකට මේ රටේ මිනිසුන්ගේ භාවිතයන් මවිත කරවන සුළුය. ඒ සංකීර්ණය   තේරුම්ගැනීම ආයාසකරය. ඔවුහු යහපත් කලා නිර්මාණයක් වෙනුවෙන් මහත් වූ අභිලාෂ සහිතව සිටිති. ඒ නිර්මාණ අසීමිත ලෙස විඳිති. නැතිනම් විඳින බව පෙන්වති. සංවාද කරති. එහෙත් ඒ කලා කෘතීන්හි  මුඛ්‍ය හරය ප්‍රායෝගික සමාජ භාවිතාවේ දී අත් හැර දමති.

අවුරුදු තිහකට පසු වේදිකාවට පැමිණෙන අශෝක හඳගම ස්වකීය නිර්මාණ ජනගත කිරීමටත් පෙර යළිත් අපට සංවේදනය කරවන අපේ සමාජයේ හැඩය දශක ගණනාවක සිට අපි නොවෙනස්ව විඳිමින් හිඳිමු.


අවුරුදු 31කට පෙර හඳගම මාඝාත කළේය. ඒ වකවානුවේ අප නව යෞවනයේ පසුවන්නන්ය. හෙණ වේදිකා නාට්‍ය කර ඒ අවධියේ සිට අපේ පරම්පරාව තුළ ගෞරවණීය සංවාදයක් ඇති කළ හඳගම නීතියේ ආධිපත්‍ය වල් වැදුණු ඒ කාලකන්ණි සමාජය නිර්මාණාත්මකව නිරුවත් කරන මොහොතේ උපන් ප්‍රහර්ෂය තවමත් මතකය. හඳගමට රාජ්‍ය සම්මාන හිමිවුණේය. පාරක් ගානේ පිච්චෙන මිනී පුළුටු ගඳ විඳිමින් ඒ නිර්මාණ පිළිබඳ බලාපොරොත්තු සහගත සංවාදයක් ඇති වී සමාජ පරිවර්තනයක් දක්වා යන තුරු බලාගෙන සිටියෙමු.

අපේ වීරයා හඳගම වේදිකාවෙන් බැස ගියේය. ඔහු සිනමාව ඔස්සේ සිය භූමිකාව දිගටම කළ බව සැබෑය. නමුත් ඒ අවධියේ ඒ කලාකෘතීන් ගැන විශිෂ්ට සංවාද ඇති කළ උන්ගෙන් අතිමහත් බහුතරය මේ කාලකන්ණි දුර්දාන්තය පවත්වාගෙන යෑම සඳහා කුණු කාණු පල්ලේ දියවී යන අයුරු බලාගෙන සිටියෙමු. දශක තුනකට පසු යළි හඳගම වේදිකාවට පැමිණ තිබේ. ඔහු පැමිණෙන්නේ අශිෂ්ඨත්වයේ කුණපය මත මල් පාත්ති තැනූ සමාජයක නාට්‍යය කරන්නටය. දශක තුනකට පෙර සේම ඔහුගේ ආගමනය මිනිස්සු උත්කර්ෂයෙන් පිළිගනිමින් හිඳිති.

යළිත් හෙට සිටි ඇන්ටික් කඩයක මරණයක් ගැන ප්‍රබුද්ධ සංවාද ඇතිවනු ඇත. මාඝාත සම්බන්ධව  ඇති වූ  කථිකාවම නිර්මාණය වනු ඇත. එහෙත් අපට සිදු වී ඇත්තේ ඒ සංවාදයේ හරය සමාජීය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් ප්‍රායෝගික කරන්නට යන විට තමන් තුළ සැඟව සිටින මුග්ධයාට ඉඩ දී නිහඬවන මිනිසුන් දෙස බලාගෙන ඉන්නටය.

මාඝාත රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නේ වර්ෂ 1989දී ය. එම කෘතියේ ඍජු දේශපාලනික ප්‍රකාශනයක් ගැබ් වී තිබිණි. දොර දොර මළ බෙර වැයෙන යුගයක, හන්දියක් ගානේ  ටයර් තුළ තරුණයන් මර මරා පුලුස්සමින් තිබුන යුගයක වල් වැදුණු නීතිය සහිතව පැවති   අශිෂ්ට සමාජයේ නිරුවත ප්‍රශ්න කළ මාඝාත සාහිත්‍ය කෘතියක් ලෙස අවංකව වින්දනය කළා නම් දශක තුනකට පසු හඳගම වේදිකා නාට්‍යයක් කරන්නේ මීට වඩා වෙනස් සමාජයකටය.

එහෙත් ඔහු එන්නේ  මීට දශක තුනකට පෙර ඔහු විසින් ප්‍රශ්න කළ සමාජ කුණපයේ ස්වරූපය   බාහිරින් පමණක් වෙනස් වූ සමාජයකටය.  ප්‍රකාශිත ස්වරූපයේ ස්වරය පමණක් වෙනස් වූ, එහෙත් අවනීතික හැසිරීම, මර්ධනය, භීෂණය නියතයන් වූ සමාජයකටය.

“ අවුරුදු තිහකට පෙර තිබුණු ඒ කාලයෙ  වෙනස්.  මාඝාත කළ ඒ වකවානුවේ දේශපාලනය  තිබුණෙ මහේෂ්‍ය තලයක.  ඒ දේශපාලනය අපට දැනෙනවා. අපේ ඇඟේ හැප්පෙනවා. රටේ නිර්මාණය වූ භීෂණය හා බද්ධ වෙච්චි ඒ මරණීය යථාර්ථය සමග  විශ්වවිද්‍යාල තරුණයො ගැටෙමින් සිටියා. ඒක  තමයි අපේ නිර්මාණයට අවශ්‍ය නිර්මාණාවේශය ගෙනාවෙ.  මාඝාත වැනි නිර්මාණවලින් ප්‍රකාශ වුනේ  අපේ තියන තරුණ ජවයත් එක්ක  මතුවුණ ප්‍රතිචාරය. ඇත්ටම එය   ඍජු දේශපාලනික ප්‍රතිචාරයක්.“

“ නමුත් අද අපේ ජීවිතවලට දේශපාලනය බලපාන්නේ ඒ කාලයේ වගේ නෙමෙයි. ඊට වඩා ඉතාම සූක්ෂම විදිහට අපට දේශපාලනය බලපානවා.  අපි දන්නෙත් නෑ දේශපාලනය අපට බලපානවා කියලා. අපි හිතන් ඉන්නේ අපට  දේශපාලනය වැඩක් නෑ. දේශපාලනය කියලා එකක් නෑ කියලා.  නමුත් ඇත්ත එහෙම නොවෙයි.  දේශපාලනය  තියනවා. එය දැනෙනවා. එත්  ඒක අපේ ජීවිතවලට බලපාන්නේ අප නොදන්නා විදිහට.  තේරුම් ගත යුතුයි.  අප  මේ මොහොතේ අත්විඳින්නේ  එදා තත්වය එදා තිබුණ දේශපාලනික ස්වරූප නෙමෙයි. ඊට වඩා වෙනස්  තත්වයක තියන  සමාජය දේශපාලන පසුබිමේ යථාර්ථය   නිර්මාණයකට හසුකරගන්න දරන උත්සායහක් තමයි මේ තියෙන්නෙ.“

“   මේ සමාජ  ගතිකයන් අපට  තේරුම් ගන්න වෙනවා.  ඒ සඳහා  අපට මානසික සූදානමක් අවශ්‍යයි. මේ සමාජ බලපෑම  මතුපිටින් තේරුම් ගන්න බෑ. ඇතුළට බැහැලයි ඒක තේරුම් ගන්න ඕන.  එහෙම තේරුම් ගන්න අපට ජීවිතේ අන්වික්ෂීය මට්ටමකට බහින්න වෙනවා.  ඒ අන්වික්ෂීය මට්ටමේ මැදිහත් වීමකට පෙර යමක් කියවා ගන්න කරන හුරුව තමයි මේ නිර්මාණය හරහා සිදුවන්නෙ…“

හඳගම ඇන්ටික් කඩයක මරණයක් සමග වේදිකාවට පැමිණීමේ සංක්ෂිප්තය ඔහුගේම ප්‍රකාශනයක් සේ කියැවෙන්නේ එසේය.

ඒ හඳුනාගැනීම දැනට ප්‍රමාණවත්ය.  ඇන්ටික් කඩයක මරණයක් සඳහා කළෙකට පසු මහාචාර්ය සෞම්‍ය ලියනගේ රංගනයෙන් එක්වන්නේය. ඉංග්‍රීසි වේදිකාවේ නිතර දකින  පසන් රණවීර මේ කෘතියට සම්බන්ධ වන්නේය.  නිපුනි ශාරදා සහ ස්ටෙෆාන් තිරිමාන්න කෘතියේ මූලික භූමිකාව එළි දක්වන්නෝය.  නිර්මාණයේ  සංගීතය චින්තක ජයකොඩිය.   වේදිකා පරිපාලනය සහ කුරියොග්‍රැෆි   ප්‍රදීප් රාමවික්‍රම සහ කෝසල ද සිල්වාගෙනි. රංගාලෝකය  අනුරුද්ධ මල්ලවාරච්චිය.

ඇන්ටික් කඩයක මරණයක් මේ සමාජයේ අලුත් වින්දනීය ප්‍රවේශයක් විවර කර දෙනු ඇති බවට සහතිකයක් අතීත නිර්මාණ භාවිතය විසින් හඳගම අපට ලබා දී තිබේ. දැන් අපට අවශ්‍ය වන්නේ හඳගම වැනි කලාකරුවන් ගොඩනගන සාහිත්‍යයික සංවාදය මේ පොළව මත ප්‍රායෝගික සමාජ දේශපාලන පරිවර්තනයක් සඳහා ගොනු කළ හැකි මිනිසුන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරුමය වන්නේ පැෂන් එකට නාට්‍ය බලන, ප්‍රබුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා සංවාද කරන මෙලෝ හසරක් නැති අබබ්බයන් බහුතරයක් සිටිනා සමාජයක පරිනාමය නොවූ අසංස්කෘතික මිනිසුන් වෙනුවෙන් නාට්‍ය කරන්නට තවමත් හඳගමලාට සිදු වීමය.

 

Exit mobile version