තිසරගේ අඩිපාරේ ගිය අවිශ්ක ජැෆ්නා කණ්ඩායමේ අපරාජිතබව රැක ගනී

අෆ්රිඩි නැති ගෝල් කණ්ඩායමට පිට පිට සිවුවැනි පරාජය

සදෙව් රත්නායක –

යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ ප්‍රවේගකාරී පිතිහරඹයක නිසා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව අද පස්වරුවේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම එල්.පී.එල්.තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 170 හඹා ගිය ජැෆ්නා කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ කඩුලු 5ක් පමණක් වැය කරමිනි.

අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ඉනිම ආරම්භ කළ ජැෆ්නා කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ටොම් මුවර්ස් ලකුණු 11කට දැවී යාමෙන් පසු මිනෝද් භානුක සමග එක්ව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 125 දක්වා ඉහළ දැමීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්විය. පළමු ඕවර 5 නිමාවනවිට ලකුණු 38ක් වූ ජැෆ්නා ඉනිම ඕවර 10 නිමාවෙද්දි ලකුණු 80 දක්වා ඉහළ දැමීමට  මේ පිතිකරුවන් දෙදෙනා සමත්වූහ. 


ධනංජය ලක්ෂාන් යැවූ 13 වැනි ඕවරයේ පළමු පන්දු 3ම හයේ පහරවලින් සංග්‍රහ කළ අවිශ්ක ප්‍රනාන්දුගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 40කිනි. අනතුරුව 14 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් මිනෝද් භානුක දවාලීමට අසිත ප්‍රනාන්දු සමත්වීමෙන් පසු පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ ලකුණු මැෂිම නායක තිසර පෙරේරාට වැඩිවේලා පිටියේ රැඳී සිටීමට අසිත ප්‍රනාන්දු ඉඩ තැබුවේ නැත. තිසර පෙරේරා ලකුණු 9කට දැවීයද්දී ජයග්‍රහණය සඳහා ජැෆ්නා කණ්ඩායමට අවශ්‍යව තිබුණේ පන්දු 21කින් ලකුණු 26ක් පමණි. 

අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ එම ඉලක්කය පන්දු 12කට ලකුණු 19ක් දක්වා අඩු කිරීමෙන් පසුවය. ලකුණු 84ක්  රැස් කිරිමට පන්දු 59කට පමණක් මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සිය ඉනිමට එකතු කරගත්තේය. 19 වැනි ඕවරය යැවූ මොහොමඩ් අමීර්ට පිට පිට හතරේ පහර 6කින් සංග්‍රහ කරමින් ජයග්‍රහණය පහසු කරගැනීමට වනිඳු හසරංග සමත්වීම නිසා අවසන් ඕවරයේදි ඔවුන්ට ලබාගත යුතුව තිබුණේ ලකුණු 3ක් පමණි. 

සිය දියණිය හදිසියේ රෝගාතුර වීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහීඩ් අෆ්රිඩිට නැවත පාකිස්තානය බලා යාමට සිදුවීම නිසා උපනායක භානුක රාජපක්ෂ අද තරගයේදී නායකත්වය දැරූ අතර ජයග්‍රහණ ඉඩෝරයකට හසුවී සිටින ගෝල් කණ්ඩායමට අෆ්රිඩිගේ අඩුව තව දුරටත් විශාල පාඩුවක් බවට පත්විය. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති ගෝල් කණ්ඩායමේ අවසන් තරගයේදී ඉනිම ආරම්භ කළ හස්රතුල්ලා සසායි, මිලින්ද සිරිවර්ධන සහ වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් ද අද විවේක ගැන්වූ ගෝල් කණ්ඩායම ඒ වෙනුවට චැඩ්වික් වෝල්ටන්, ධනංජය ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු සහ  අහ්සාන් අලි කණ්ඩායමට කැඳවා තිබිණි. 

පාකිස්තාන පිතිකරු අහ්සාන් අලි සමග ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක මුළු ලකුණු සංඛ්‍යාව 67 දක්වා ඉහළ දැමූවත් ඒ සඳහා ඕවර 8කුත්, පන්දු 2ක්ම වැයවීම ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට තිබුණු බලාපොරොත්තු බිඳ වැටිණි. මේ පිතිකරුවන් දෙදෙනා ආරම්භක ඕවරයේ සිටම ඇද බැඳ තබාගැනීමට ජැෆ්නා කණ්ඩායමේ පන්දු යවන්නෝ වග බලා ගත්හ. ගෝල් කණ්ඩායමට පළමු ඕවර 5 ඇතුළත රැස් කිරීමට හැකිවූයේ ලකුණු 37ක් පමණි. අනතුරුව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නා වන ඩුවේන් ඔලිවර්ට පිට පිට හතරේ පහර 2ක් එල්ල කරමින් පීඩනයෙන් මිදීමට අහ්සාන් අලි උත්සාහ කළත්, ඊළඟ ඕවරය යැවූ වනිඳු හසරංගගේ උපක්‍රමශීලී පන්දුයැවීම නිසා ලකුණු 4කට වඩා රැස් කිරිමට ආරම්භක පිතිකරුවෝ අසමත් වූහ. නායක තිසර පෙරේරා යැවූ 8 වැනි ඕවරයෙන් ලකුණු 11ක් උදුරා ගත් ධනුෂ්කගේ සහ අහ්සාන්ගේ සම්බන්ධතාව බිඳ දමනු ලැබුවේ 9 වැනි ඕවරය යැවූ වනිඳු හසරංග විසිනි. 

පන්දු යවන්නා වෙතටම උඩපන්දුවක් දී අහ්සාන් ලකුණු 29කට දැවී යාමෙන් පසු ධනුෂ්ක සමග එක්වූ ගෝල් කණ්ඩායමේ පුහුණුකරු මොයින් අලීගේ පුත්‍රයා වන අසාම් ඛාන් ලකුණු සංඛ්‍යාව 110 දක්වා ඉහළ නැංවූයේ වනිඳු යැවූ 11 වැනි ඕවරයෙන් ලකුණු 16ක් උදුරා ගනිමිනි. ඩුවේන් ඔලිවර් යැවූ 12 වැනි ඕවරයේ පළමු පන්දු 2ම පිට පිට හතරේ පහර 2ක් එල්ල කරමින් ගෝල් කණ්ඩායමේ ඉනිම ලකුණු 100 සීමාවෙන් ඔබ්බට යාමට ධනුෂ්ක ගුණතිලක සමත්වූ අතර සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ අසාම් ඛාන් ලකුණු 25කට දැවීයාමෙන් පසු වැඩිවේලා කඩුල්ලේ රැඳි සිටීමට ඉඩක් නොලැබිණි. 

ධනංජය ද සිල්වා යැවූ ඉනිමේ 14 වැනි ඕවරයේදී අෆ්රිඩි වෙනුවට නායකත්වයේ කටයුතු කළ භානුක රාජපක්ෂ දවාලීමට ෂෝර්ට් කවර් කලාපයේ සිට නායක තිසර පෙරේරා රැකගත් උඩපන්දුව අතිවිශිෂ්ට එකකි. ඕවර 15ක් නිමාවනවිට ගෝල් කණ්ඩායම ලබා සිටියේ කඩුලු 4කට ලකුණු 122ක් පමණි. පන්දු 44කදී හතරේ පහර 7ක් සමග ලකුණු 56ක් රැස් කළ ධනුෂ්ක ගුණතිලක දවාලීමට සමත්වූයේ වනිඳු හසරංගය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් පසුව ඉනිමේ 16 වැනි ඕවරය යැවූ ශොහේබ් මලික් ලබා දුන්නේ ලකුණු 5ක් පමණි. එසේ වුවත් උස්මාන් ශින්වාරි යැවූ 17 වැනි ඕවරයේ නිපන්දුවක් වූ පළමු පන්දුවට එල්ල කළ හයේ පහරක් ද ඇතුළු පන්දු 4දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24ක් උදුරා ගැනීමට වෝල්ටන් සමත්විය. පස්වැනි පන්දුවෙන් ඔහු දැවී යද්දී පන්දු 14කින් ලකුණු 31ක් ලබා සිටියේය. අවසන් ඕවර 3ට ගෝල් කණ්ඩායම රැස් කළේ ලකුණු 17ක් පමණි.

 

Exit mobile version