කැන්ඩි පන්දු යවන්නන්ට තිසරගෙන් හා ධනංජයගෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක්…

ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිතව පෙරමුණ ගනී

සදෙව් රත්නායක –

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සියළු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන් නායක තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා එල්.පී.එල්. තරගාවලිය යටතේ  ඊයේ රාත්‍රී පැවැති තරගයෙන් ලකුණු 54ක ජයක් ජැෆ්නා කණ්ඩායමට අත්කර දීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්හ. මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්වූ අතර, පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ තිසර පෙරේරා එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගත්තේ ඉනිම් 2කදී ලකුණු 165ක් රැස් කරමිනි. 

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම ඕවර 20 නිමාවෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 185ක් රැස් කළ අතර, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඕවර 17කුත්, එක් පන්දුවකදී ලකුණු 131කට දැවී ගියේය. 

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ද, තිසරට අවිශ්ක ප්‍රනාන්දුගෙන් සහ මිනෝද් භානුකගෙන් බලාපොරොත්තු වූ ආරම්භයක් නොලැබිණි. අවිශ්ක ප්‍රනාන්දු දුවද්දී දැවීයාමකට හසුවෙද්දී මිනෝද් භානුක දැවී ගියේ අසේල ගුණරත්න යැවූ පන්දුවකට කුසල් ජනිත් පෙරේරා ස්ටම්ප් කිරීමකට හසුකරගැනීම නිසාය. ඉන් පසුව මුළු ලකුණු සංඛ්‍යාව 35දී ටොම් මුවර්ස්ගේ කඩුල්ල බිඳ දැමූ අසේල ඔහුගේ ලකුණු සංඛ්‍යාව 4කට සීමා කළේය. ලකුණු 9ක් ලබා සිටි සොහේබ් මලික් දුවද්දී දැවී යද්දී ජැෆ්නා පිලේ මුළු ලකුණු 49ක් පමණක් විය. 


පළමු ඕවර 10 නිමාවනවිට ලකුණු 50කට කඩුලු 4ක් දැවී දැඩි අසීරු අඩියකට වැටී සිටි ජැෆ්නා කණ්ඩායම ඊළඟ ඕවර 10දී ලකුණු 135ක් උදුරා ගත්තේ ධනංජයගේ සහ තිසරගේ ප්‍රහාරාත්මක පිතිහරඹයට පින්සිදු වන්නටය. මේ දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 118ක් එක් කළේ පන්දු 47කදීය. 

කමිඳු මෙන්ඩිස් යැවූ ඉනිමේ 12 වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 2ක් එල්ල කරමින් පීඩනය ඈතට තල්ලු කළ තිසර අනතුරුව නවීන් උල් හක් යැවූ ඉනිමේ 14වැනි ඕවරයෙන් ලකුණු 18ක් උදුරා ගත්තේ හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගිනි. මේ දෙදෙනාම ඔවුනොවුන්ගේ අර්ධ ශතක වාර්තා කළේ ඩිල්රුවන් පෙරේරා යැවූ ඉනිමේ 16 වැනි ඕවරයේදීය. 

එම ඕවරයේ දෙවැනි පන්දුවෙන් එක් ලකුණක් ලබා සිය අර්ධ ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා සමත්විය. ඔහුගේ අර්ධ ශතකයට වැය වූයේ පන්දු 22ක් පමණි. එම ඕවරයේ ඉතිරි පන්දු 4න් ලකුණු 20ක් ඩැහැ ගැනීමට සමත්වූ ධනංජය ද සිල්වාගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 34කිනි. 

නුවන් ප්‍රදීප් යැවූ 17 වැනි ඕවරයේ පළමු පන්දුවට තිසර ඉහළින් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රහ්මනුල්ලා ගුර්බාස් වෙත ඇදී ආවත් එය රැක ගැනීමට ඔහු අසමත්විය. ඔහු දැවී ගියේ නවීන් උල් හක් විසින් යවනු ලැබූ 18 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙනි. එම ඕවරයේදී ධනංජය ද සිල්වා දවාගැනීමටත් නවීන් උල් හක් සමත්වීමෙන් පසු ලකුණු ලැබීමේ වේගය තරමක් අඩාල විය.අවසන් ඕවර 2දී ජැෆ්නා කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 12ක් පමණි.

ලකුණු 186ක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට නායක කුසල් ජනිත් සහ රහ්මනුල්ලා ගුර්බාස්ට හැකිවූයේ නැත. මේ දෙදෙනාම ලකුණු 24ක් තුළ දැවී ගියේ උස්මාන් ශින්වාරිගේ පන්දු හමුවේය. අනතුරුව කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 20කට සීමා කිරීමට සුරංග ලක්මාල් සමත්විය. කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 9කට සීමා විය. බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 32කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 46ක් රැස් කරමින් කැන්ඩි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙද්දී අසේල ගුණරත්න පන්දු 24කදී ලකුණු 31ක් ලැබුවේ හතරේ පහර 4ක් සමගිනි. කමිඳු සහ අසේල දෙදෙනාම දැවී ගියේ තිසර පෙරේරාගේ පන්දු හමුවේය.

මුළු ලකුණු සංඛ්‍යාව 98ක් වෙද්දී කැන්ඩි ඉනිමේ පිතිකරුවන් 6ක්ම ආපසු ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. ඔවුන්ගේ අවසන් කඩුලු 6ම ලකුණු 41ක් තුළ දවාලීමට ජැෆ්නා කණ්ඩායම සමත්වූ අතර උස්මාන් ශින්වාරි ලකුණු 17කට කඩුලු 3ක් දවාලීය. 

තිසර පෙරේරා ලකුණු 9කට කඩුලු 2ක් ද, වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 2ක් ද, සුරංග ලක්මාල් ලකුණු 27කට කඩුලු 2ක් ද දවාලමින් ජැෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් දැක්වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ජයග්‍රහණයත් සමග සහභාගි වූ තරග 3ම ජයගත් අපරාජිත ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබා පෙරමුණ ගත්තේය. කලම්බු කිංග්ස් කණ්ඩායම දෙවැනි තැන පසුවන්නේ තරග 3කින් දෙකක් දිනා ප්‍රසාද ලකුණු 4කට හිමිකම් කියමිනි. දඹුල්ල වයිකින් කණ්ඩායමත් ප්‍රසාද ලකුණු 4ක් ලබා තුන්වැනි තැන අත්කරගෙන සිටින්නේ තරග 3කින් දෙකක් ජයගනිමිනි. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරග 4කින් ජයගත්තේ එක් තරගයක් පමණි. ඔවුන් ප්‍රසාද ලකුණු 2ක් ලබා සිවුවැනි තැනට පත්වෙද්දී තරග 3ම පරාජයට පත්වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවෙයි.

 

Exit mobile version