එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දිනසේන රතුගමගේ

ලංකා ප්‍රිමියර් ලීග්   (එල්.පී.එල්) ශූරතාවය   ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමගම යාපනය ප්‍රීතියෙන් ඉපිල ගියේය.   යාපනයේ තරුණයෝ ප්‍රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින්  ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළහ.

ජැෆ්නා කණ්ඩායම පන්දුවට පහර දී ලකුණු විශාල ප්‍රමාණයක් ලබා ගත් අවස්ථාවේ සිට යාපනයේ  තරුණයෝ මාර්ග වලට පැමිණ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති වූහ.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට යාපනයේ තේවින්ද්‍රන් ඩිනෝශාන් ( 18), විජයකාන්තන් වියස්කාන්ත් (19) සහ කනගරත්නම් කබිල්රාජ් (21) යන ක්‍රීඩකයන් තිදෙනා ද එක් වී සිටියහ.    ඉන් විජයකාන්තන් වියස්කාන්ත්    තරගයකට ක්‍රීඩා කළේය.   කණ්ඩායම වෙණුවෙන් හේ   දස්කම් දැක්වීය.  මේ පසුබිම  යාපනයේ තරුණයන් උද්දාමයට පත් කිරීමට සමත් විය. 


ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරගාවලිය පුරාම ස්වකීය ජවය පෙන්වමින් තරග කළ ආකාරය ගැන යාපනයේ ක්‍රීඩා ලෝලීන් කොහොමත් සිටියේ බලාපොරොත්තු සහගතවය. අවසානයේ දී අවසන් මහා තරගය පොදුවේ තියුණු බවකින් තොර ඒක පාර්ශිවික අවසන් මහා තරගයක් විය. 

වීදි බැස්ස යාපනයේ තරුණයො රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වෙති….

ජැෆ්නා ස්ටැලියන්ස් මුලින්ම පන්දුවට පහර දී රැස් කළ ලකුණු 189 හඹා යන්නට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කුමණ අවස්ථාවකවත් උත්සාහ කළේ නැත. මුල් පන්දු ඕවර 3 දී කඩුළු තුනක් බිඳ දමා ගත් ගාලු කණ්ඩායම අවසානයේ දී ලකුණු 53කින් පරාජයට පත් වූයේය. 

ජැෆ්නා ස්ටැලියන්ස් වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 14 කදී ලකුණු 39 ක් රැස් කළේය.    පාකිස්තානයේ හිටපු නායක ෂොයිබ් මලික් පන්දු තිස් පහක දී ලකුණු  46  රැස් කර කණ්ඩායමේ වැඩිම ලකුණු ලභියා විය. ධනංජය ඩිසිල්වා පන්දු 20 කදී ලකුණු 33 ක් ලබා ගත්තේය

  ගාලු කණ්ඩායම වෙනුවෙන්න නායක භානුක රාපක්ෂ පන්දු 17ක දී හතරේ පහර තුනක් හා හයේ පහර හතරක් සමග ලකුණු 40ක් ලබා ගත්තේය. කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් පන්දු 17ක දී හයේ පහර හතරක් හා හතරේ පහර 1 සමග ලකුණු 37ක් ලබා ගත්තේය.

කෙසේ වෙත් ගාලු කණ්ඩායමට පන්දු ඕවර 20 අවසානයේ දී රැස් කරගත හැකි වූයේ කඩුළු නවයක් දැවී ලකුණු 135ක් පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ සතුට

Exit mobile version