ක්‍රිකට් නම් ක්‍රිකට්… කොවිඩ් අතරේ පල්ලෙකැලේ මල් අතුරපු ශතක වසන්තය

දිනේශ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා ශතක ලබති

නිරෝෂන් දික්වැල්ල ශතකය වාර්තා කළ මොහොත

සදෙව් රත්නායක –

සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට යටත්ව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පසුගියදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි නේවාසික පුහුණුවීම් අතරතුර එක්දින පුහුණු තරගයක් අද පැවැත්විණි. දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම සහ නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම අතර පැවැති මෙම ඕවර 50 එක්දින තරගය අලෝක තත්ත්වය මඳ වීම හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

 

කසුන් රාජිත විසින් දුවද්දී දවා ගැනීමකට කළ උත්සාහයක්

කොවිඩ් වසංගතයෙන් පසුව පළමුවරට තරගයකට එක්වූ නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා ශතක රැස් කිරීම මෙහි දී විශේෂත්වයක් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 346ක් රැස් කිරීමට සමත්විය. කොවිඩ් වසංගතයෙන් පසුව සිය පිතිහරඹ දස්කම් යළි මුවහත් කරගත් නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස් කිරීම මෙහි දී කැපී පෙනුණි. 


නායක දික්වැල්ල පන්දු 127කදී හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමග ලකුණු 127ක් රැස් කළ අතර පන්දු 100කින් නොදැවී ලකුණු 117ක් රැස් කළ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. මීට අමතරව ධනුෂ්ක ගුණතිලක ලකුණු 41ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස් ද ලකුණු 22ක්  රැස්  කළේය. 

ලහිරු කුමාර කඩුලු දෙකක් දවා ගත්තේය.

පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 72කට කඩුලු 3ක් දවාලූ අතර ධනංජය ද සිල්වා ලකුණු 30කට කඩුලු 2ක් දවාලීමට සමත් විය. වනිඳු හසරංග ලකුණු 50කට කඩුලු 2ක් දවාලීය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම ඕවර 45කුත්, පන්දු 3කදී කඩුලු 7කට ලකුණු 292ක් රැස් කරමින් සිටියදි තරගය නිමාවට පත්විය.

කරුණාරත්නගේ පිල වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පන්දු  72කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමග නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට සමත්විය. ධනංජය ද සිල්වා ලකුණු 49ක් කළ අතර ඊට පන්දු 45ක් වැය විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය.  පන්දු 50කදී ලකුණු 45ක් රැස් කිරීමට ළහිරු තිරිමාන්න සමත්වූයේ හතරේ පහර 4ක් ද සමගිනි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 77කට කඩුලු 2ක් ද, නුවන් ප්‍රදීප් ලකුණු 55කට කඩුලු 2ක් ද බිඳ දැමූහ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනේෂ් චන්දිමාල්

Exit mobile version