පකිස්ථානයට එරෙහිව කඩුලු 05ක ජයක්… ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගයට…

ශ්‍රි ලංකා කණ්ඩායම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගෙනය.  ඒ  20 විස්ස ආසායානු කුසලාන සුපරි වටයේ අවසන් තරයෙන් පකිස්ථානය පරාජය කරමිනි.

ජාතියක් අසීමිත පරාජයන් හමුවේ බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ආසියානු කුසලානය අවසන් මහා තරගය අභියසය.

ලකුණු 121ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 17ක් තුළ කඩුළු 05ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

පකිස්තානු ඉනිම 


කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු රැකීම තේරුවේය.  මුලින් පන්දුවට පහර දුන් ප්‍රබල පකිස්තානු කණ්ඩායම පන්දු ඕවර 19.1 තුළ ලකුණු 120කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

වනිඳු

වනිඳු හසරංග යළිත් ආකර්ශනීය පන්දු යැවීමකය. ඔහු පන්දු ඕවර හතර තුළ   ලකුණු 21කට කඩුළු 03ක් දවා ගත්තේය. තම අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දු දෙක තුළ කඩුළු දෙකක් ලබා ගැනීමට වනිඳුට හැකි විය.

මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04 තුළ ලකුණු 21කට කඩුළු 02ක් බිඳ හෙළුවේය. ධනංජය සිල්වා තවත් විශිෂ්ට පන්දු යැවීමකය. ඔහු පන්දු ඕවර 04 තුළ ලබා දුන්නේ ලකුණු 18ක් පමණි. කඩුල්ලක් දවා ගත්තේය.

චාමික කරුණාරත්න එක් පන්දු ඕවරයක් පමණක් යවමින් ලකුණු 04කට කඩුල්ලක්  ලැබීය. නවක වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් පන්දු ඕවර 2.1 යවා ලකුණු 21ට කඩුලු 02ක් ලැබීය.

පකිස්තානු කණ්ඩායමේ නායක බබාර් අසාම් මේ තරගයේ ලකුණු අතරට පැමිණියේය. ඔහු පන්දු 29ක දී ලකුණු 30ක් ලැබුවේය.  මොහොමඩ් නවාස් පන්දු 18ක දී ලකුණු 26ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමට හසුවිය. පකිස්ථානු කණ්ඩායම පන්දු ඕවර 19.1 දී ලකුණු 120කට සියල්ලෝ දැවී ගියහ.

ඉලක්කය හඹා යෑම 

ඉලක්කය හඹා යෑමට ශ්‍රී ලංකා පිතිකරුවෝ පැමිණියහ. ශ්‍රී ලංකා ඉනිම   ආරම්භයම තිගැස්මකි. අප අනුමාන කළ ආකාරයටම 120 පහසු ඉලක්කයක් නොවන බව පකිස්ථානු පන්දු යවන්නෝ මුල් ඕවර කිහිපය තුළ පෙන්වූහ.

ආරම්භක පිතිකරු  කුසල් මෙන්ඩිස් මුහුණ දුන් මුල් පන්දුවේදීම ලකුණු නොලබා මොහෙමඩ් හස්නයින් ඉදිරියේ  දැවී ගියේය. තරගයේ පන්දු දෙකක් පමණක් යවා තිබිණි. ලකුණු 01කි. කුසල් ඉනිමේ  දෙවැනි පන්දුවෙන් දැවී ගියේය.

අනතුරුව පිටියට පැමිණියේ ධනුෂ්ක ගුණතිලකය. පිට පිටම අසාර්ථක වූ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කැඳවා තිබුණු බැවින් පළමු කඩුල්ල  ලෙස ධනුෂ්ක පිටියට පැමිණියේය.   ඔහු  මුහුණ දුන්නේ පන්දු හතරකට පමණි. හරිස් රවුෆ් හමුවේ කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩපන්දුවක් දී ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා දැවී ගියේය. දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේ දී ධනුෂ්ක දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩාම ලකුණු 2ට කඩුළු 02කි.

අනතුරුව පිටියට පැමිණියේ ධනංජය ද සිල්වාය. ධනංජය පන්දු දොලහකට පමණක් මුහුණ දුන්නේය. එක් හතරේ පහරක් සමග ලකුණු 09ක් ලැබුවේය. 3වන කඩුල්ල ලෙස හරිස් රවුෆ් හමුවේ  ධනංජය පිටියෙන් ඉවත්වනවිට  මුලු ලකුණු සංඛ්‍යාව 29කි.

ඉනිමේ මුදුන් මුල – පැතුම්

ඉනිම සුන්වන ලකුණු පෙනෙද්දී  ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එක් අන්තයක් දරාගෙන සිටියේය. භාණුක රාජපක්ෂ පන්දු 19කට මුහුණ දී   ලකුණු 24ක් ලබා දැවී යද්දී, නායක දසුන් ශානක පන්දු 16කට මුහුණ දී  හයේ පහර 02ක් සහ එක් හතරේ පහරක් සමග ලකුණු 21කට දැවී යද්දී සිය වේගවත් රිද්මය තුළ රැඳෙමින් පැතුම් නිශ්ශංක ඉනිමේ යෝධ මුල් ගල වූයේය. ඉනිම ගොඩනැගුනේ ඔහු වටාය. පැතුම්     හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 48ක දී ලකුණු 55ක් ලබා නොදැවී සිටියේය.

තරගය නිමා කළේ වනිඳු හසරංගය.  වනිඳු පන්දු 03ක් තුළ හතරේ පහර 02ක් සමග ලකුණු 10ක් ලැබීය.

පකිස්ථානය වෙනුවෙන්  පන්දු ඕවර තුන බැගින් යවමින්  මොහොමඩ් හස්නින් ලකුණු 21කට කඩුළු 02ක්, හරිස් රවුෆ් ලකුණු 19කට කඩුළු 02ක් ලැබුවේය. පන්දු ඕවර 04ක් යැවූ උස්මාන් ක්වඩිර් ලකුණු 34කට කඩුල්ලක් ලැබීය.

තරගයේ වීරයා වනිඳු හසරංගය. ශ්‍රී ලංකාව අපරාජිතව ලබන ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයට පිවිසෙන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ තරගයත් පකිස්ථානය සමගය.

Exit mobile version