2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ චෝදනාව දුරදිග යයි

ඩලස් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි... විමර්ශනයේ ප්‍රගතිය සති දෙකකට වරක් වාර්තාවකින්

සදෙව් රත්නායක

වසර 2011 දී ඉන්දියාවේ මුම්බායි නුවර පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දීය පිල සමග පැවැති අවසන් මහා තරගය පාවාදුන් බවට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දාන්ද අලුත්ගමගේ  විසින් පසුගියදා සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම   ක්‍රීඩා ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍රට දැනුම් දී තිබේ.

ඉන්දියාවට එරෙහිව 2011 ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මුදලට හෝ වෙන යම් දෙයකට පාවා දුන් බවත්, ඒ පිළිබඳ පැහැදිලි සාක්ෂි තමන් සතුව පවතින බවත් මහින්දානන්ද අලුත්ගමගේ   රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කියා තිබිණි.

වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම  ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබුවේ එම ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කරමිනි.


ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන යටතේ වහාම මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කොට නීත්‍යානුකූලව කටයුතු කරන මෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍රට ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ ඒකකය වෙත ලිඛිතව පැමිණිලි කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. 

එමෙන්ම මේ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ සෑම සති දෙකකට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත් ක්‍රීඩා ලේකම්වරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

වසර 2011 අප්‍රේල් මාසයේ 2 වැනිදා ඉන්දියාව සමඟ පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 නිමාවනවිට කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කළ අතර ජයග්‍රාහී ඉලක්කය ඕවර 48.2කදී කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට ඉන්දියාව සමත්විය.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ  විසින් සිදු කරන ලද එම ආන්දෝලනාත්මක ප්‍රකාශයට පිළිතුරු සපයමින් එවකට ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර සහ උපනායකයා ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන   එම චෝදනාව ඔප්පු කරන ලෙස අභියෝග කරමින් ‘ට්විටර්‘ වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මෙම මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධව දේශපාලන භූමියේ ද කතාබහට ලක්වූ අතර හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් බොහෝ දෙනකු මත පළ කළහ.

 

Exit mobile version