2011 ගැන වාස් කතා කරයි… එන්න අපි අහමු

සමුගැනීමක්වත් නොදී පලවා හළ ලංකාවේ සැබෑම ක්‍රිකට් පුරාවෘත්තයේ සැබෑම සංකේතය

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සුපිරිම වේග පන්දු යවන්නා වු චමින්ද වාස් 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව එක්දින ක්‍රිකට් දිවියට සමුදුන්නේය. නමුත් ඔහුට සමුගැනීමේ තරගයක් එක්දින පිටියේ නොලැබුණි. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පවසන තරග පාවාදීමේ අවසන් මහා තරගයේ බංකුවේ සිටි වාස් ඒ සම්බන්ධයෙන් වාස් කියන කතාව මෙසේය.

“එදා අවසන් මහා තරගය ක්‍රීඩා කරන්න ලෑස්ති වෙලා තමයි මමත් හිටියේ. නමුත් මට අවසන් මොහොතේ වාසි ඔයා ගහන්නෙ නැහැ කියලා සංගක්කාර ඇවිල්ලා කිව්වා. මොකද මම අවසන් මහා තරගයට ඉස්සෙල්ලා හොඳින් පුහුණුවීම් කරලා ලෑස්ති වෙලා හිටියේ. මම ඇහුව්වා ඇයි මම ගහන්නෙ නැත්තෙ කියලා. ඒ ගමන කිව්වා මේ විකට් එක ඔයාට සපෝට් කරනවා මදි. ඒක නිසා දඟ පන්දු යවන්නෙක් ඒ වෙනුවට යොදවනවා කියලා. හැබැයි මම දැනගෙන හිටියා මට ඉන්දියානු පිතිකරුවන්ව දවා ගන්න පුළුවන් කියලා. ඒ වගේම ෂෙවාර්ග්, ටෙන්ඩුල්කාර වැනි පිතිකරුවන්ට පන්දු යවන්න ඕන විදිහ මම දැනගෙන තමයි අවසන් තරයට ලෑස්ති වුණේ.” යනුවෙන් වාස් කීවේය.


මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කියන තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධව චමින්ද වාස්ට කිසිදු අදහසක් පැවසිය නොහැකි වුවත් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොලැබීමෙන් අවසන් තරගයේදී අතිරේක ක්‍රීඩකයකු වශයෙන් හෝ ශ්‍රී ලංකා නිල ඇඳුම ඇදීමට වාස්ට අවස්ථාවක් ලැබී නැත.

“මම සමුගන්න ලෑස්තිවෙලා හිටියේ 2011 ලෝක කුසලාන තරගාවලියේදී. නමුත් මාව ඒ ලෝක කුසලාන තරගාවලියට තෝරගත්තෙ නැහැ. ඒත් උපරිම කැපවීමෙන් මගේ පුහුණුවීම් මම දිගටම කරගෙන ගියා. පළමු පෙළ තරගාවලියේදී හොඳින් පන්දු යවලා තිබිද්දිත් මට අවස්ථාව ලැබුණෙ නැහැ. කොහොම හරි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක් වුණ නිසා තමයි මට අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්න ඉන්දියාවට එන්න කියලා පණිවුඩය ලැබුණේ.”


චමින්ද වාස් පුහුණුවීම් කරමින් සිටින අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණ දුරකතන ඇමතුමත් සමග හදසියේම ඔහුට ඉන්දියාව බලා යෑමට සිදුවිය. මුම්බායි හී වන්කඬේ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ නොනිමි ආශාවෙන් චමින්ද වාස් සිටිය ද එම අවස්ථාව අහිමිව යෑමේ වේදනාව ඔහුට තවමත් තිබේ.

“මම අවසන් තරගයට ක්‍රීඩා කරවන්නමයි ගෙන්වන්නෙ කියලා ආරංචි වුණා. මම කටුනායක ගුවන් තොටුපොළින් යනකොටත් අපේ ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ‘කමෝන් චමින්ද වාස්….අපි මේ පාර අනිවාර්යයෙන් ලෝක කුසලාන දිනනවා…වාස් ගියොත් අනිවාර්යයෙන්ම කප් එක අරන් එන්නෙ කියලා අප්පුඩි ගැහුව්වා. මටත් ඒ වෙලාවේ ලොකු උද්‍යෝගයක් ආවා අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු කොහොම හරි ඉටු කරනවා කියලා.

ඒත් මට අවසන් තරගය ගහන්න ලැබුණෙ නැහැ. තරගය එළියෙ ඉඳලා බලන විට ලොකු දුකක් ඇති වුණා. ආයෙත් ලෝක කුසලානයක් දිනාදෙන්න දායක වෙන්න තිබුණ අවස්ථාව මට අහිමි වීම ගැන.”

චමින්ද වාස් සමග 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට ගිය සුරාජ් රන්දිව් ඒ තරගය ක්‍රීඩා කළේය. නමුත් එක්දින තරග 322 කදී කඩුලු 400 ක් දවා ගත් චමින්ද වාස්ට එදා වන්කඩේ තණතීරුව නුසුදුසු වීමනම් අදහාගත නොහැකි කරුණකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් වාස් පවසන්නේ තමාට ඕනෑම තණතීරුව පන්දු යැවිය හැකි බවත් ඒ දේවල් ඉතිහාසයේ ඔප්පු කර ඇති බවත්ය.

Exit mobile version