හෝමාගම ක්‍රිකට් පිටි‌ ව්‍යාපෘතිය අත්හිටුවයි.

සදෙව් රත්නායක-

 

කුමාර් සංගක්කාර

අමෙරිකානු ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් වැය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදි කිරීමට සැළසුම් කළ හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවීමට අගමැති  මහින්ද රාජපක්ෂ මහතා අද තීරණය කළ බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන් සහ වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුත් සමග හිටපු ක්‍රිකට් පරිපාලකයන් සමග අද පැවැති සාකච්ඡාවකින් පසුව අගමැතිවරයා මේ තීරණය ගත් බව අගමැති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් කියා සිටී.

හෝමාගම, දියගම ඉදි කිරීමට යෝජිත එම ක්‍රීඩාංගණය සඳහා වැය කිරීමට අපේක්ෂා කළ මුදල් පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමට සහ දැනට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණ වැඩි දියුණු කිරීමට යොදවන ලෙසත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

අරලියගහ මන්දිරයේ අද පැවැති මෙම රැස්වීමට ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසුරිය, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ වත්මන් කණ්ඩායමේ ලසිත් මාලිංග සහභාගි වූ අතර ක්‍රිකට් බලධාරීහුද ඊට එක්වී සිටියහ.


සනත් ජයසූරිය
මහෙල ජයවර්ධන
රොෂාන් මහානාම

අගමැතිවරයා සමග පැවැති මෙම රැස්වීම ඉතා සාර්ථක වූ බවත්, වර්තමානයේ අප විසින් සිදුකළ යුතු වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට අවධානය යොමු කිරීම බව හිටපු ක්‍රීඩකයන් සියළුදෙනා මෙහිදී අගමැතිවරයාට පැවැසූ බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා එම සාකච්ඡාවෙන් පසුව කියා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට මෙය වේලාව නොවන බවත් එහිදී හිටපු ක්‍රීඩකයන් ප්‍රකාශ කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද මේ සාකච්ඡාවට එක්වී සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ පසුගිය දින කිහිපය පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට භාජනය වූ අතර මේ අවස්ථාවේ එවැනි ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි දෝෂාරෝපණයට ද ලක්විය.

 

 

Exit mobile version