හොඳටම පරාදයි. මේ මොකද වුනේ….

ඊබ්‍රහීම් සද්‍රාන්.... පන්දු 98යි... ලකුණු 98 යි....

කණ්ඩායමේ සැලසුම් සම්පූර්ණයෙන්ම ෆේල්ය. අප ඇෆ්ගනිස්ථානය ඉදිරිපිට හොඳටෝම පරාදය.  පන්දු 19ක් ඉතිරිව තිබෙද්දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු හතරක් දැවී ශ්‍රි ලංකාව ලබා දුන් 268ක ඉලක්කය පසු කර ගියේ ඉතා පහසුවෙනි.  කඩුළු 6ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ඇෆ්ගනිස්ථානය ඉදිරියේ සටහන් වී තිබේ.

ඊබ්‍රහීම් සහ ෂා

හම්බන්තොට   අලි ගහන කැලෑ අතර ඉදිවූ සූරියවැව ක්‍රීඩාංගනයට බොහෝ දුර කතර ගෙවා පැමිණි මිනිස්සු පිටවී යන්නේ බිඳී ගිය බලාපොරොත්තු සහිතවය.

රෂීඩ් ඛාන් නැති ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම මේ තරම් පහසුවෙන් ශ්‍රී ලංකාව පරාජය කළා නම් ඉතිරි තරග දෙක ශ්‍රි ලංකා කණ්ඩායමට මීට වඩා අපහසු වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හා තරගයට තුරුම්පු හතරක් තේරුවේය. සුදු පන්දුවට සෑහෙන කාලයක් හුරු වී සිටි නැති දිමුත් කරුණාරත්න ජ්‍යෙෂ්ඨයෙක් ලෙස එක් දින කණ්ඩායමට එක් වූයේය. අනෙක් බලාපොරොත්තු සහගත ජ්‍යෙෂ්ඨයා ඇන්ජලෝ මැතිවුස්ය. ඔවුන් දෙදෙනාගෙන්ම අපේක්ෂිත ඉල්කකය සැපිරුවේ නැත.


දුෂ්මන්ත චමීර එළියේ සිටිය දී අයි.පී.එල් පීඩනය මත මතීෂ පතිරණට  අවස්ථාව ලැබිනි. මහීෂ් තීක්ෂණ සිටිය දී තුන්ඉරියව් බලාපොරොත්තුව ද සහිතව වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කැඳෙව්වේය. මේ තරගයේ ඔවුන් දෙදෙනාත් ෆේල්ය. මතීෂ පතිරණ පන්දු ඕවර 04කට හුරු වූ විස්සයි 20 ක්‍රීඩකයෙක් දැයි සිතුනි. ඔහුගේ පන්දු යැවීම බලාපොරොත්තු නොවන තරම් දුක්ඛිත තත්ත්වය විය. නිවැරදි එල්ලය වේගය දක්නට නොවීය. එමෙන්ම තණතීරුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නනට කිසිම සහයක් නොලැබුණ බව ද පෙනුනි.

දුෂාන් හේමන්ත ලැබුනු අවස්ථාව අපතේ හැරියාදැයි සිතෙන්නේ ඔහුගේ පන්දු යැවීම මෙන්ම පන්දුවට පහරදීමට ද  ඵලදායී අර්ථයක් නොදුටු බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක තනි ඉනිමක් හුදකලාව ක්‍රීඩා කළේය. ඔහු පන්දු 95ක දී ලකුණු 91ක් ලැබුවේය.  ඔහුට සහය දුන්නේ ධනංජය ද සිල්වා පමණි. ධනංජය පන්දු  59ක දී ලකුණු 51ක් ලැබුවේය.  පැතුම් නිශ්ශංක සුපුරුදු වගකීම් සහගත ක්‍රීඩා විලාශය ප්‍රකට කරමින් එක් අන්තයක කඩුළු බිඳ වැටෙද්දී ආරම්භක පිතිකරු ලෙස පන්දු 59ක දී ලකුණු 38ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී පන්දු ඕවර 50 අවසානයේ දී ලකුණු 268ක් ලැබුවේය.

ඇෆ්ගනිස්ථාන පිතිකරණය විශ්වාසනීය විය. ආරම්භක පිතිකරු   ඊබ්‍රහීම් සද්‍රාන් විශිෂ්ට පිතිකරණයක නිරත විය. ඔහු පන්දු 98ක දී ලකුණු 98ක් ලැබුවේය. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

රහ්මට් ෂා ඉවසිලිවන්ත ලකුණු 55ක් කණ්ඩායමට එකතු කළේය. ඊට ඔහු පන්දු 55කට මුහුණ දුන්නේය. එල්ල කළේ හතරේ පහර 03ක් පමණි. ඊබ්‍රහීම්  සහ ෂා එක්ව ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණයේ ස්ථාවර තලයට රැගෙන ආවේය.

හෂමදුල්ලාහ් ෂහීඩි පන්දු 47ක දී ලකුණු 38ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 02ක්, මතීෂ පතිරණ කඩුලු 01ක් සහ ලහිරු කුමාර කඩුලු 01ක් ලැබුවේය.

අප පන්දු ඕවර 50ක් යැව්වේ නැත.  ඉතාම දුක්ඛිතම තත්ත්වයව යැවූ පන්දු ඕවර 47 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ අමතර ලකුණු 30ක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ප්‍රදානය කිරීමය. ඒ අතර වයඩ් පන්දු 22කි. එක් නිපන්දුවකි. මෙහෙම තරගයක් පරාජය නොවී තිබේනම් පුදුමය.  පුරුදු වෙන්න ක්‍රිකට් ගහනවා බඳු මේ ක්‍රිකට් ගැහිල්ල අපට ක්‍රිකට් අප්‍රසන්න කරන්නේය.

මේ විසිරුණ අවිනීත ක්‍රීඩා විලාශය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටවත් ප්‍රමාණවත් දැයි දැන් අපට සිතෙන්නේය.

ඉතිරි තරග  දෙක ගැන මීට වඩා ගැඹුරින් කල්පනා කර රටක් ලෙස ක්‍රීඩා කිරීමේ බරපතල වගකීම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති බව සිතමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටට ඇති එකම ජයග්‍රහණයේ සිහිනයත් බොඳ කර ඇෆ්ගනිස්ථානය හමුවේ තරගාවලි පරාජයක් ලැබීමට තරම් දුක්ඛිත තත්ත්වයට අපේ ක්‍රීඩා ලෝලීන් පත් නොවනු ඇතැයි තවමත් බලාපොරොත්තු වෙමු.

Exit mobile version