සමහර ඒවා අත් හැරියොත් අත් හැරියම තමයි! අදත් එහෙම යි…

සමහර අත් හැරීම් අත්හැරුනා නම් අත හැරියාමය.  කුසල් මෙන්ඩිස් අතින් ගිලිහුනු ගිලිහීම අවසානයේ දි දැවැන්ත ඉලක්කයක් වී කණ්ඩායම වෙත යළි ලැබී ඇත්තේය.

කාසියේ වාසිය දිනා පන්දු රැකීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායමට බංගලාදේශ කණඩායම ලකුණු 286ක තියුණු ඉලක්කයක් ලබා දී ඇත. කඩුළු 07ක් පමණක් දැවී ගොස් ලබා දුන් ඒ ඉලක්කයට බංගලාදේශ පිතිකරුවන් යන ගමනේ දී  අපට අත්හැරුණු තීරණාත්මක තැන් දෙකක් දුටුවෙමු.

ඒ ලකුණු 06 දී ටොවිඩ් හ්‍රිඩෝයි විසින් දිල්ෂාන් මධුශංකගේ පන්දුවකට ලබා දුන් උඩපන්දුව කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යෑමය. උත්තරය ලැබුනේ හ්‍රිඩෝයි ලකුණු 96ක් නොදැවී ලබා ගැනීමෙනි.  ඔහු ලකුණු 96 ඉන් පසු කළමනාකරණය කළේ ලැබුණු අවස්ථාව උපරිම ලෙස පාවිච්චි කරමිනි.  හ්‍රිඩෝයි අවසන් පන්දු ඕවර දෙකේ එල්ල කළ හයේ පහර තුනකි. මුළු ඉනිමටම හයේ පහර 5කි. හතරේ පහර 3කි.  එක්දින තරගයක තාක්ෂණික රිද්මය නියම ලෙස පිටිය තුළ නිර්මාණය කළ හ්‍රිඩෝයි ඉනිමේ අවසන් පන්දුවටත් ලහිරු කුමාරට හයේ පහරක් එල්ල කළේය

අපට සිද්ධවුන දෙවැනි බිඳවැටීම පන්දු ඕවර 10 යවා ගැනීමට නොහැකි වූ ආරම්භක පන්දු යවන්නා වන ඩිල්ෂාන් මධුශංක පන්දු ඕවර 6යි පන්දු 4ක් යැවීමෙන් පසු පිටියෙන් ඉවත් විමය. අනතුරුව ප්‍රමෝද් මධුශාන් උතුර දකුණ මාරුවන විදිහට ගුටි කෑමය. ප්‍රමෝද් මධුශාන් පන්දු ඕවර 9ක් යවා ලකුණු 72ක් ලබා දුන්නේය.


බංගලි ඉනිම

බංගලාදේශ ඉනිමේ පෙර තරගයේ දී මෙන්ම ලිටොන් දාස් ලකුණු නොලබා 3 වැනි පන්දුවේ දීම දැවී යන්නේය. අනතුරුව ගොඩනැගෙන සම්බන්ධය කදිමය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් සෞම්‍යා සකාර් සහ නායක නජ්මුල් හොසෙයින් සැන්ටො අතර ලකුණු  75ක සම්බන්ධතාවයක් ගොඩනැගෙමින් තිබිය දී දිල්ශාන් මධුසංඛගේ පන්දුවකට පා ඉන්න දෙසට පනිමින් කුසල් මෙන්ඩිස් කදිම උඩපන්දුවක් රැක ගන්නේය. නජ්මුල් ඒ වනවිට ලකුණු 40ක් ලබාගෙන සිටියේය.

ඉනිම ගොඩනැගීමේ දී සෞම්‍යා සකාර් පන්දු 66ක දී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 68කි.

ඉනිම මුලුමනින්ම ගොඩනැගෙන්නේ ටොවිඩ් හ්‍රිඩෝයි ගේ පිතිකරණය වටාය. මුලින් කී ලෙස ඔහු ලකුණු 96කි.

විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු වනිදු හසරංග ලකුණු 45කට කඩුළු 04කි. ඩිල්ශාන් මධුශංක පන්දු ඕවර 6.4ක් යවා ලකුණු 30කට කඩුළු 02ක් ලබා ගත්තේය.

ලැබී ඇති ඉලක්කය ලකුණු 286කි. එය පහසු ඉලක්කයක් නොවේ. තරගයේ මුල් පන්දු ඕවර 20 ඉරණම තීරණය කරනු ඇත. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී මුහුණ දුන් පළමු  පන්දුවේ දීම  ලකුණු නොලබා අවිශ්ක ප්‍රනාන්දු  දැවී ගොස්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගයකදී වරදින්නට පුුලුවන. එහෙත් වැරදි අඩුම වෙනවා නම් මරුය. සිදුකළ එක් වැරැද්දක් මේ වනවිට තරගයෙන් අඩක් අපෙන් ගලවාගෙන ඇති බැවිනි.

Exit mobile version