ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවෙනි පුහුණු කඳවුර පල්ලෙකැලේ දී…

සදෙව් රත්නායක-

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දෙවැනි නේවාසික පුහුණු කඳවුර දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුව ලබන 22 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් පනවනු ලැබූ කොන්දේසිවලට අනුව පැවැත්වෙන එම පුහුණු කඳවුර දින දහයක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය.

පසුගියදා කොළඹ සී.සී.සී.පිටියේ පැවැති පළමු නේවාසික පුහුණු කඳවුරට නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් 12 දෙනෙක් එක්වූ අතර මෙවර ක්‍රීඩකයන් 24 දක්වා වැඩි කිරිමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව පළමු නේවාසික පුහුණු කඳවුරට එක් නොවූ  ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද දෙවැනි පුහුණු කඳවුරට එක්වීමට නියමිතය. කෙසේ  වුවත් විස්සයි20 ක්‍රිකට් නායක ලසිත් මාලිංගට මෙවර ද පුහුණුව සඳහා කැඳවීමක් සිදු නොකිරීම කැපී පෙනේ.


දෙවැනි නේවාසික පුහුණු කඳවුර සඳහා පුහුණු කාර්ය මණ්ඩලය ද වැඩි කර ඇති අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සමඟ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්, ශාරිරික අභ්‍යාසවේදි ඩිල්ෂාන් ෆොන්සේකා, භෞතචිකිත්සක අජන්ත වත්තේගම, පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සහ සම්භාහක රොහාන් ප්‍රියදර්ශන මෙවර කඳවුරට එක්වෙති.

පළමු නේවාසික පුහුණු කඳවුර සඳහා අනුගමනය කළ දැඩි සෞඛ්‍ය උපදෙස් මෙවර ද ඒ අයුරින්ම සිදු කිරීමට නියමිත අතර පුහුණු කඳවුරට සම්බන්ධ කිසිවකුට හෝටල් පරිශ්‍රය තුළින් හෝ පුහුණුවිම් සිදුකරනු ලබන ක්‍රීඩා පිටිය තුළින් බැහැරව යාමට අවසර නොලැබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ දෙවැනි පුහුණු කඳවුරට එක්වන ක්‍රීඩකයන් මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ඇන්ජෙලෝ මැතිව්ස්, තිසර පෙ‍රේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය, ඕෂද ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ.

 

Exit mobile version