ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් පුහුණුවීම් අරඹයි…

සදෙව් රත්නායක –

ලබන දෙසැම්බර් මස දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය හෙට (13) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ජෛව ආරක්ෂණ ක්‍රමවේදයට අනුව පුහුණුවීම් ආරම්භ කරයි. මේ මස 22 දක්වා පැවැත්වෙන මෙම පුහුණු කඳවුරට ක්‍රීඩකයන් 22කගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

එම පුහුණු කඳවුර නිමාවූ විගස ක්‍රීඩකයන් 18 දෙනකු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා හම්බන්තොට බලා පිටත්වීමට නියමිතය. නොවැම්බර් මස 26 සිට දෙසැම්බර් මස 16 දක්වා හම්බන්තොට දී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට ක්‍රීඩකයන් 18ක් එක්වෙද්දී ඉතිරි ක්‍රීඩකයන් සිවුදෙනා පල්ලේකැලේ සිට යළි කොළඹ බලා පැමිණෙනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමවූ දිනට පසුදින එනම් දෙසැම්බර් 17 වැනිදා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය. එම කණ්ඩායමට වෛද්‍යවරයකු සමග තවත් නිලධාරීන් 10 දෙනකු ද ඇතුළත් වෙති.


විශේෂ ගුවන් යානයකින් දකුණු අප්‍රිකාවට

විශේෂිත ගුවන් යානයකින් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුම පී.සී.ආර්. පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිත බවත්, දකුණු අප්‍රිකාවේදී ඔවුන්ට නිරෝධායන කාලසීමාවක් පනවා නැති බවත් වාර්තා වේ.

දෙසැම්බර් මස 20 සිට 22 දක්වා දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායමක් සමග තුන්දින තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල අනතුරුව ටෙස්ට් තරගමාලාවට එක්වෙනු ඇත. එම ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය දෙසැම්බර් 26 දින සිට 30 වැනිදා දක්වා සෙන්චූරියන් හී දී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය වසර 2021 ජනවාරි 3 දා සිට 7 වැනිදා දක්වා ජොහනස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකා පිල තරග වදින පළමු ජාත්‍යන්තර තරගාවලිය ද වේ. අවසන් වරට පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා පිල කොවිඩ් වසංගතයට පෙර තරග වැදුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමට නියමිත තරගාවලි සියල්ල අවලංගු වූවත් පුහුණුකරු මිකී ආතර්ගේ මූලිකත්වයෙන් නේවාසික පුහුණු සැසි ගණනාවක් පැවැත්වීම කැපී පෙනුණි. අවසන් වරට බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත පුහුණු සැසියක් ද පැවැත්විණි. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අවසන් මොහොතේදී එම සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන තිබිණි.

එංගලන්තය ලංකාවට

දකුණු අප්‍රිකානු සංචාරය නිමවූ විගස එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට නියමිතව තිබේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියට පෙර අවසන් වරට මෙරට සංචාරය කළ විදෙස් කණ්ඩායම වන එංගලන්ත පිල වසංගතයේ ව්‍යාප්තියත් සමග තරගාවලිය අත්හැර යළි මවුරට බලා පිටත්ව ගියේය.

ලබන වසරේ ජනවාරි මාසයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත පිලට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සිට පැමිණිමෙන් පසු දින 7ක කාලසීමාවක් නිරෝධායනය වීමට නියමිතව තිබේ. එම නිරෝධානය කටයුතු ගාල්ල නගරය කේන්ද්‍ර කරමින් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කර ඇත්තේ කොවිඩ් අවදානම නිසා එංගලන්ත පිල සමග පැවත්වෙන ටෙස්ට් තරගමාලාවට අයත් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් මේ තරගාවලියට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් එකඟතාව ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

පළමු පෙළ හොඳම පිතිකරු හා පන්දු යවන්නා එළියෙ…

දකුණු අප්‍රිකානු සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක සහ වමත් වේගපන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ පළමු වරට කැඳවා ඇති අතර පාදඟ පන්දු යවන වනිඳු හසරංග, කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක සහ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු වැනි යොවුන් ක්‍රීඩකයන් ද එක්වී සිටිති. එසේ වුවත් පසුගිය අගෝස්තු මාසයේදී නිමාවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන ළහිරු උදාර සහ වැඩිම කඩුලු ලාභියා වන දුවිඳු තිලකරත්න ඇතුළත් නොවීම කනගාටුදායක සිදුවීමකි.

පිතිකරුවන් 9ක්, තුන්ඉරියව් ක්‍රීඩකයන් 3ක්, දඟපන්දු යවන්නන් 3ක් සහ වේගපන්දු යවන්නන් 7ක් ඇතුළත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර ඇත්තේ පුහුණුකරු මිකී ආතර් සහ තේරීම් කමිටු ප්‍රධානි අසන්ත ද මැල් මහත්වරු බව වාර්තා වේ.

එසේ වුවත් අසන්ත ද මැල්ගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලසීමාව මීට මාස කිහිපයකට පෙර නිමාවී තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර යවන ලද නව තේරීම් කමිටුවට ද මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිචාරයක් නැති බව වාර්තා වේ. එබැවින් නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිළ නොවන එකක් බවත්, එහි ක්‍රීඩකයන්ගේ වෙනසක් ඉදිරියේදී සිදු වීමට ද ඉඩ ඇති බවත්, ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, මිනෝද් භානුක, සන්තුෂ් ගුණතිලක, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුසංඛ.

Exit mobile version