ශ්‍රී ලංකාව යළිත් අවසන් මහා තරගයක…. ලෙජන්ඩස්ලා ඉතිහාසය නැවත ලියති….

ඔවුන් පුරාවෘත්ත බඳු මිනිසුන් වන්නේ ඉතිහාසය නැවත ලියන නිසාය. අප යළිත් බලාපොරොත්තුවේ ප්‍රහර්ෂය විඳිමිනි.

ඒ වියපත් මිනිස්සු ක්‍රීඩාවට ආදරය කරන හැටි යළිත් අපට කියා දෙමින් සිටිති. සෑහෙන කාලයකට පසු ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරගාවලියක අවසන් මහා තරගයේ තරග වැදීමට නියමිතය. ඊයේ (20) රාජ්පූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී  ජොන්ටි රෝඩ්ස්ගේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස්ලා පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ලා රෝඩ් සේෆ්ටි 20 විස්ස තරගාවලියේ  අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක තිලකරත්න දිල්ශාන් මුලින්ම පන්දු රැකීම තෝරාගත්තේය. ඒ තීරණය නිවැරදි එකක් බව තහවුරු කරමින්  මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් ලකුණු 125කට සීමා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි වූයේය.  ආරම්භක පිතිකරු මෝන් වැන් වයික් පන්දු 47ක දී ලකුණු 53ක් ලබා ගන්නාවිට ඔහුගේ ඉනිමට ශක්තියක්ව සිටියේ පන්දු 27ක දී ලකුණු 27ක් ලබා ගත් ඇල්විරෝ පිටර්සන් පමණි.  ජස්ටින් කෙම්ප් පන්දු 12කදී ලකුනු 15ක් ලබා ගත්තේය. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 7 සීමාව ඉක්මවා ගියේ නැත.


යළිත් නුවන් කුළසේකර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූයේය. ඔහු පන්දු වාර 4ක දී ලකුනු 25කට කඩුළු 05ක් බිඳහෙළීය. සනත් ජයසූරියත් අමතක නොවන පන්දු යැවීමක නිරත විය. පන්දුවාර 4 තුළදී ඔහු ලබා දුනනේ ලකුණු 12ක් පමණි. එක් කඩුල්ලක් ඔහු විසින් ලබා ගත්තේය.  කෞෂල්‍ය වීරරත්න හා ෆෙර්විස් මහරූෆ්  විසින් කඩුල්ල බැගින් ලබා ගත්තේය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරන්ත දිල්ශාන් මේ තරගයේ දී මුල් අවස්ථාවේ දී තරම් සාර්ථක වූයේ නැත. ඔහු පන්දු 17ක දී හතරේ පහර 4ක්  සමග ලකුණු 18ක් රැස් කළේය.      සුපුරුදු ප්‍රහාරය එල්ලකරමින් සනත් ජයසූරිය ඩිල්ෂාන් සමග  ඉනිම ආරම්භ කළේය. ඔහු පන්දු 18කදී හතරේ පහර 4ක් සමග ලකුණු 18ක් රැස්කර ගත්තේය.

තරගය හැඩ කළ මනරම් පිතිහරඹයෙහි යෙදුනේ චින්තක ජයසිංහය. ඔහු පන්දු 25ක දී හතරේ පහර 8ක් හා එක් හයේ එල්ල කරමින් ලකුණු 47ක් නොදැවී ලබා ගත්තේය. ඔහුට අනගි සහයක් ලබා දුන් උපුල් තරංග පන්දු 44ක දී නොදැවී ලකුනු 39ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 5ක් සමගිනි.  තරගාවලියේ විශිෂ්ටතම පන්දු යැවීම වාර්තාකළ නුවන් කුලසේකර අවසන් පූර්ව තරගයේ වීරයා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසන් මහා තරගය හෙට (21) රාජ්පූර්හි දී ලංකාවේ වේලාවෙන් සවස 7ට ආරම්භ වේ.  ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග හෙට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩාම රාජ්පූර්හිදී ඒ අවසන් මහා තරගයේ දී හමුවනු ඇත.

Exit mobile version