විස්සයි20 සංචිතයෙන් මාලිංග විසිවෙයි ද?

ජාතික ක්‍රිකට් පිලේ පළමු අදියරේ පුහුණුවීම් සඳහා ලසිත්  මාලිංග කැඳවා නැහැ

සදෙව් රත්නායක- 

ජූනි මස 1 වැනිදා ආරම්භ වන ජාතික ක්‍රිකට් පිලේ පළමු අදියරේ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත්  මාලිංග කැඳවා නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.  ජාතික පිලේ පුහුණු කටයුතු සඳහා ලසිත් මාලිංග ඇතුළත් නොවීම විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවට කණ්ඩායම තෝරාගැනීමේදී අවස්ථාව ලබා නොදීමේ තීරණයක් මත සිදුවූයේදැයි ඇතැමුන් සැක පහළ කරති. 

කෙසේ වුවත් 36 හැවිරිදි මෙම වේගපන්දු යවන්නාගේ දණහිසේ පවතින ආබාධය හේතුවෙන් ඔහුටම ආවේනික වූ පුහුණු ක්‍රමවේදයක් ලබා දී ඇති බැවින් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ඔහු සහභාගි කර නොගැනීමට හේතුව බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගතයෙන් අඩපණ වූ ක්‍රිකට් ක්‍රීඩාව නැවත පණ ගැන්වීමට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ලබාදුන් උපදේශනමාලාවට අනුව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පිලේ පළමු අදියරේ පුහුණුව සඳහා වේගපන්දු යවන්නන් සහ දඟපන්දු යවන්නන් කිහිපදෙනකු සහභාගි වනු ඇත. 


ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් විසින් තෝරාගනු ලැබූ ක්‍රීඩකයන් ඊට ඇතුළත් වෙති. ඒ අනුව ළහිරු කුමාර, කසුන් රාජිත, සුරංග ලක්මාල්,  විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන වේගපන්දු යවන්නන් ලෙස එක්වෙනු ඇත. එමෙන්ම ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය සහ වනිඳු හසරංග  දඟ පන්දු යවන්නන් ලෙස මෙම පුහුණුවීම්වලට සහභාගි වනු ඇතැයි ද කඩුලු රකින පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද ඊට එක්වනු ඇතැයි ද ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

මිට අමතරව ඇන්ජෙලෝ මැතිව්ස්ට සහ තිසර පෙරේරාට නිවසේ සිට පුහුණුවීම් සිදුකිරීමට විශේෂ වැඩසටහන් සකස් කර දී ඇතැයි ද වාර්තා වෙයි. 

ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් ආරම්භ කිරිමත් සමග ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් දැනට නවාතැන් ගෙන සිටින තරු පහේ හෝටලයෙන් ඉවත්ව පුහුණුවීම් සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නවාතැන් වෙනුවෙන් සූදානම් කර ඇති තරු පහේ හෝටලයේ නවාතැන් ගැනීමට නියමිතය. එහිදී ක්‍රීඩකයන් හෝටල පරිශ්‍රය තුළ පිහිටි ශාරිරික අභ්‍යාස මධ්‍යස්ථානය සහ පිහිනුම් තටාකය පරිහරණය කරනු ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව මේ වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත වූවත් කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය මත තරගමාලාව පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. එහෙත් ඊට සුදුසුකම් ලබා සිටින සෑම කණ්ඩායමකම පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ එම තරගමාලාව ඉලක්ක කරමිනි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ අවසන් සංචිතය පිළිබඳ මෙතෙක් තීරණය වී නොමැත. 

 

Exit mobile version