විස්සයි විස්සේ අඩුපාඩු ගොඩයි… දිමුත් ප්‍රේක්ෂකයෙක් විදිහට කියයි

dimuth-karunaratne

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයකට පෙනී සිටින්නට තවත් මාස පහක් තිබේ. කොරෝනා වසංගතය සමනය වුවහොත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබන මස සිට පුහුණුව ආරම්භ කළ යුතුවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ අඩුපාඩු බොහොමයක් ඇති බව ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න කියයි. ඔහු මෙසේ කියන්නේ ප්‍රේක්ෂකයෙක් වශයෙන් විස්සයි විස්ස කණ්ඩායම දෙස බලමිනි.

“මම දකින විදිහට අපේ විස්සයි විස්ස කණ්ඩායමේ ගොඩක් අඩුපාඩු තියෙනවා. අපේ පිතිකරණ ලැයිස්තුව වුණත් ගොඩක් කලබල වෙනවා. වෙන රටවල ක්‍රීඩකයන් එක්ක බැලුවහම අපේ රටේ ක්‍රීඩකයන්ගේ වේගය නැතිනම් ශරීරයේ ශක්තිය ටිකක් අඩුයි. ඒක නිසා පවර් ප්ලේ අවස්ථාවේදී වේගයෙන් ලකුණු ගහන්න ගිහිල්ලා පළමු පන්දුවාර කිහිපයේදී අපේ කඩුලු දැවී යනවා. පන්දුවාර දහයක් ඇතුළත කඩුලු හතරක් හෝ පහක් දැවි යනවා කියන්නෙ අන්තිම පන්දුවාර දහය ඇදගෙන ගිහින් ලොකු ලකුණු ගාණක් ගහන්න අමාරුයි.”

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට ඇති අඩුපාඩු පහදා දෙමින් දිමුත් වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේ.


“අනික් රටවල ක්‍රීඩකයින් අපිට සාපේක්ෂව ගොඩක් වේගයක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගාවලි ක්‍රීඩා කරලා ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ ගොල්ලන් පළමු පන්දුවාර පහ සහ හයේදි ලොකු අවදානමක් නොගෙන ලකුණු ගන්නවා.”

“මම හිතන්නෙ ගොඩක් වෙලාවට විස්සයි විස්ස ආකෘති අනෙක් තරග ආකෘති දෙකට වඩා වෙනස් නිසා තමයි අපේ කණ්ඩායමට එහෙම වෙලා තියෙන්නෙ. විස්සයි විස්සේදී කරන දේ හරි තැනදිම කරන්න ඕන. ලකුණක් හෝ කඩුල්ලක් ගන්න තියෙන වෙලාවේදි ඒක මග හැරුණොත් ආයිත් එක අල්ලන්න කාලයක් එන්නෙ නැහැ. ඒ නිසා එක පන්දුවකින් හෝ කඩුල්ලකින් මුළු තරගයක්ම වෙනස් විය හැකියි. හැබැයි ටෙස්ට් සහ එක්දින තරගවලදී වැරැද්දක් හදා ගන්න පොඩි වෙලාවක් හරි තියෙනවා.” යැයි දිමුත් පවසයි.

කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් ආරම්භක කඩුල්ලට හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාදුන් විට කණ්ඩායම සාර්ථක වන බවත් පළමුව කඩුලු දැවී යාමෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අපහසු බවත් පවසන දිමුත් ලෝකයේ අනිත් ක්‍රීඩකයන් කරන සියලු දේ කළ යුතු නැති බව ද පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි අනිත් රටවල්වල ක්‍රීඩකයන් කරන හැමදේම කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒක ඒ ගොල්ලන්ගේ ආවේණික විදිහක් වෙන්න පුලුවන්. අපි අපේම විදිහකට වෙනම සැලැස්මකට අපේ දක්ෂතාවයන් භාවිතා කරන්න ඕන කියලා මට හිතෙනවා. අපේ ක්‍රීඩකයින් එහෙම සෙල්ලම් කරලත් තියෙනවා. අපේ අය එහෙම කරලා තියෙන නිසයි මම මෙහෙම කියන්නේ.”

Exit mobile version