ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) නොවැම්බරයට කල් දමයි

සදෙව් රත්නායක –

කොවිඩ් වසංගතය සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් විසින් පනවන ලද නීතිරෙගුලාසිවලට අනුව කටයුතු කිරීමේදි කාලය ප්‍රමාණවත් නොවන බැවින් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බරය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

තරගාවලියට සහභාගි වන විදෙස් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් නිරෝධායනය වීම අතවශ්‍ය කරුණක් බවට පත්වීමත්, තරගාවලියට අදාළ සෙසු කටයුතු නිමා කරගැනීමට කාලය ප්‍රමාණවත් නොවීමත් ඊට හේතු වී තිබේ. 

මේ මස 28 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ මේ තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 30ක් සමග විදෙස් පුහුණුකරුවන් ද සහභාගිවීමට නියමිත අතර එම සියලුදෙනාම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතුව ඇත. එබැවින් නියමිත දිනයේදී එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කිරීමේ දුෂ්කරතා මතුවීමෙන් එම තීරණය ගෙන ඇත. 


සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසා සිටී.

කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල සහ යාපනය නියෝජනය වන පරිදි කණ්ඩායම් 5ක් මේ තරගාවලියට ඇතුළත් වන අතර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි. එමෙන්ම දේශීය ක්‍රීඩකයන් රැසක් ද තරගාවලියට සහභාගිවීමට නියමිතව තිබූ අතර ඩුබායි හි ප්‍රකට ක්‍රිකට් ප්‍රවර්ධන සමාගමක් විසින් වසර 5ක කාලයක් සඳහා එල්.පී.එල්. තරගාවලියේ මෙහෙයුම් සිදු කිරීමට ඉදිරිපත්වී සිටියේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමාන මුහුණුවරකින් යුතුව පැවත්වෙන මේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා වෙන්දේසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. සියලු කටයුතු නිමා කරමින් එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කිරීමේ අරමුණින් යුතුව අවශ්‍ය මාර්ගෝපදේශන සකස් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රිකට් ආයතනය නියෝජනය වන පරිදි පුද්ගලයන් අටදෙනකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබිණී. 

Exit mobile version