රටවල් දෙකකට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව – චමනී සෙනෙවිරත්න 

සදෙව් රත්නායක –

ක්‍රීඩාව කිනම් මුහුණුවරක එකක් වූවත්, ඕනෑම රටක ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ඒ හැටි පහසු කාර්යයක් නොවේ. එවැනි පසුබිමකදී රටවල් දෙකකම ජාතික කණ්ඩායම් නියෝජනය කිරීම විස්මිත ක්‍රියාවකි. එම ගෞරවය කාන්තාවක් විසින් දිනාගනු ලැබීම එහි වටිනාකම තවත්  ඉහළ දමන්නකි. එය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක විසින් සිදු කරනු ලැබීම විමතිය හා ගෞරවය දෙගුණ තෙගුණ කරවන්නකි.

එම ගෞරවය දිනාගනු ලැබුවේ කලක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩිකා චමනී සෙනෙවිරත්න විසිනි. ඇය වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් පිලේ උපනායිකාව ද වන්නීය.

එක්සත් අරාබි එමීර් පිලට ක්‍රීඩා කරමින්

වසර 14ක් පුරා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කළ 38 හැවිරිදි චමනී සෙනෙවිරත්න එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වූයේ 2014දීය. එරට ජාතික පිලට ක්‍රීඩා කිරීමට පෙර වසර 3ක් එහි දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවිය යුතු අතර, චමනී එම සුදුසුකම සපුරා ගනිමින් 2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් බවට පත්වූවාය.


අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලෙන්  ක්‍රීඩාවේ අත්පොත තැබූ චමනී ජාතික කණ්ඩායමට එක්වූයේ 1997 වසරේදීය. එවකට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා පිලේ හිටපු කඩුලු රකින පිතිකරු ගයි ද අල්විස්  විසිනි. ඔහුගේ ගුරුහරුකම් මැද සිය ක්‍රිකට් දස්කම් පෝෂණය කරගත් ඇය පසුකාලීනව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රබලතම සාමාජිකාවක බවට පත්වූවාය.

චමනී සෙනවිරත්න

1998 වසරේදී ශ්‍රී ලංකා පිල සහ පාකිස්තාන පිල අතර පැවැති මෙරට කාන්තා ක්‍රිකට් වංශ කතාවේ එකම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 105ක් රැස් කළ ඇය ශ්‍රී ලංකා කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු හා එකම ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද දිනා ගත්තාය.

අනතුරුව 2013 වසරේ ඔක්තෝබර් මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ඇයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවීය. එය සිදුවූයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසිනි.

‘මම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලින් අයින්  වුණේ පුදුමාකාර කළකිරීමකිනුයි. මාව කපා දැම්මේ දස්කම් අතර  සිටියදියි. ඒක වුණේ එවකට හිටපු පුහුණුකරු නිසයි. මම ක්‍රීඩාවෙන් ඉවත්වෙද්දිත් ලංකාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවන් පස්දෙනා අතරයි හිටියේ. ඒත් මට තැනක් දුන්නේ නෑ. සමුගැනීමේ තරගයක් ඉල්ලුවත් ඒක දුන්නෙත් නෑ. එවකට හිටපු පුහුණුකරු මගෙන් පළිගත්තේ එහෙමයි. ‘ ඇය දැඩි කලකිරීමෙන් යුතුව එසේ කියයි.

චාමනී සෙනවිරත්න

එක්තරා පුහුණුකරුවකුගේ අයුතු යෝජනාවලට අවනත නොවීමත්, ඔහුගේ වැරදි තීරණ විවේචනය කිරීමත් හේතුවෙන් තමාට මේ ඉරණම අත්වූ බව ඇය සඳහන් කළාය.

‘එවකට හිටපු තේරිම් කමිටුවටත් එම පුහුණුකරුවා බලපැම් කළා. මට පන්න පන්නා පහර දුන්නා. මට වගේම තවත් ක්‍රීඩිකාවන් කිහිපදෙනකුටම මේ දේ සිද්ධ වුණත් ඔවුන් ඉදිරියට ඇවිත් ඒවා හෙළි කරන්න බයයි. තේරීම් කමිටුවේ එවකට හිටපු ප්‍රධානියා එක්ක පෙර දින රාත්‍රියේ අවන්හල්වල මත්පැන් පානය කරමින් තමයි ඔහු පසුදින තෝරන කණ්ඩායම නම් කරන්නේ.‘ ඇය එසේ කීවාය.

‘අධික ලෙස මත්පැනට ලොල් මේ පුහුණුකරු ඇතැම් කළමනාකරුවන් සමගත් ගැටුම් ඇතිකරගත්තා. කළමනාකරුවන් වැඩි දෙනෙක් ඉතා හොඳ අය. නමුත් ඔවුන්ටත් වඩා ඉහළින් තමයි ඔහු කටයුතු කළේ. ‘ ඇය පැවැසුවාය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශාරිරික යෝග්‍යතා සහතිකලාභීයකු වන චමනී සිය ක්‍රීඩා දිවිය අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ජීවිතාරක්ෂක නිලධාරිනියක ලෙස එරට බලපත්‍රයකට හිමිකම් කී අතර, ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් පිලට එක්වූයේ ද එහිදී ජීවිතාරක්ෂක නිලධාරිනියක ලෙස රැකියාවක නිරතවන  අතරතුරදීය.

චමනී පිහිනුම් උපදේශිකාවකි

නැවත මවුබිමට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණමින් සිටින බාලිකා විදුහලක පුහුණුකාරීත්වය බාරගැනීමට තමා කැමැත්තෙන් පසුවන බව ද ඇය සඳහන් කළාය. ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දෙවැනි පෙළ පුහුණුකාරිනියක දවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට සාජා නුවර සාජා ඉන්වෙස්ට්මන්ට් අධිකාරියට  (Shurooq – Sharjah Investment and Development Authority) අයත් Al Montazah සමාගමේ ජීවිතාරක්ෂක හා පිහිනුම් උපදේශිකාවක ලෙස සේවය කරන චමනී සිය ක්‍රීඩා දිවියට සහයෝගය ලබා දෙන එම සමාගමේ සාමාන්‍යධිකාරී Khalid  Ibrahim  Al  Qaseer  මහතා ඇතුළු එම සමාගමේ කළමනාකරුවන් වන Amine Mechergui  සහ Hussain Shamlan  ටත්, කණ්ඩායම් භාරව කටයුතු කරන Umangi de Soyza සහ  Amro Elyasad ටත් සිය ස්තූතිය පුද කරයි.

Exit mobile version