මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාව පිල අද (10 ) සවස්වරුවේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද ඒ සඳහා කාලගුණයෙන් බාධා එල්ලවෙමින් පවතින බව ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මැල්  පවසයි.

ටෙස්ට් තරගාවලියේදී පුහුණුවීම් කළ ද පළමුව අවධානය කළ යුත්තේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව බව අසන්ත ද මැල් පවසයි. මොන දක්ෂතාව තිබුණත් ශාරීරික යෝග්‍යතාව නොමැතිව ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා   21 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබේ. “දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව පුහුණුවීම් ආරම්භ කරන්න හැදුවත් කාලගුණය යහපත් වුණේ නැහැ. සවස්වරුවේත් ගාල්ලට කාලගුණය එතරම් හොඳ තත්ත්වයක නැහැ.” යැයි අසන්ත  ද මැල් පවසයි.


පුහුණුවීම් වලදී ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩකයන්ට සිදුවු දේ සිදු නොවන්නට බවද ඔහු වැඩිදුරටත් පවසයි.

“මේ අවුරුද්දෙ ගොඩක් කාර්යබහුල තරගාවලි රැසක් තියෙනවා. නමුත් අපි මුලින්ම කළ යුත්තේ ක්‍රීඩකයන්ව හිටපු තැනට ගෙන එන එකයි. මේ අය මාස 10 ක් නිකන් ඉඳලා ශාරීරික යෝග්‍යතාව හරි මට්ටමක නැහැ. දකුණු අප්‍රිකාවේදී ආබාධ වුණෙත් ඒ නිසයි. මුලින්ම කළ යුත්තේ ඒ අයගේ යෝග්‍යතාව පවත්වාගෙන යන්න.”

එංගලන්ත සංචාරයට නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, සන්තුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුෂංක

 

 

Exit mobile version