බංග්ලාදේශ සුපිරි වේගපන්දු යවන්නාට කොවිඩ් ආසාදනය වෙයි

දඟපන්දු යවන  නස්මුල් ඉස්ලාම්ට සහ ආරම්භක පිතිකරු නෆීස් ඉක්බාල්ටත් කොවිඩ් වැළඳලා...

සදෙව් රත්නායක –

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ සුපිරි වේගපන්දු යවන්නා වන මෂ්රාෆී මොර්ටාසාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය. එරට එක්දින ක්‍රිකට් පිලේ හිටපු නායකයා ද වන මොර්ටාසා මේ වනවිට ඩැකා නුවර ඔහුගේ නිවෙසේ හුදෙකලා වෙමින් ප්‍රතිකාර ලබමින් සිටී.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන 36 හැවිරිදි මොර්ටාසා පසුගිය කාලය තුළ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ වැඩකටයුතුවල නිරතව සිටි බවත්, ඔහු උණ රෝගය වැළඳීමෙන් පසුව සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙන්  කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවත් මොර්ටාසාගේ සොයුරු මොර්සාලින් මොර්ටාසා අද  මාධ්‍යයට ප්‍රකාශ කළේය. 

මොර්ටාසාට අමතරව බංග්ලාදේශ පිලේ තවත් ක්‍රීඩකයන් දෙදෙනකු වන දඟපන්දු යවන  ක්‍රීඩක නස්මුල් ඉස්ලාම්ට සහ ආරම්භක පිතිකරු නෆීස් ඉක්බාල්ට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. මොර්ටාසාගේ කුළුපඟ සගයකු වන නස්මුල් ඉස්ලාම් ඔහු සමඟ පසුගිය කාලයේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහනාධාර ලබාදීමට එක්වී තිබේ.


‘අද මා කොවිඩ් වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වුණා. මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන හැමට ස්තූතියි. අපේ රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දැන් ලක්ෂයට වැඩියි. ඒ හැම දෙනා වෙනුවෙන්ම අපි ප්‍රාර්ථනා කරමු. අපි හැමෝටම පරිස්සම් වෙන්න සිදුවෙනවා.‘ මුහුණු පොතේ සටහනක් තබමින් අද පස්වරුවේ මොර්ටාසා එසේ කියා සිටියේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 2009න් පසුව ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි මොර්ටාසා, 2017දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගයෙන් පසුව එක්දින තරග සඳහා පමණක් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබිණි. ඔහු බංග්ලාදේශ එක්දින පිලේ නායකයා ලෙස කටයුතු කරමින් සිටි අතර දේශපාලන ජීවිතයේ කාර්යබහුලත්වය මත  පසුගිය ජනවාරියේදී ඔහු නායකත්වයෙන් ඉවත් විය. 

 

Exit mobile version